Monday, May 20, 2024
Home » නුවරඑළිය තුරඟ තරගාවලිය සාර්ථකව අවසන්

නුවරඑළිය තුරඟ තරගාවලිය සාර්ථකව අවසන්

by sachintha
May 9, 2024 2:16 am 0 comment

නුවරඑළිය රාජකීය තුරඟ සමාජය සංවිධානය කළ වසන්ත සමයේ මැජික් මිලියන තුරඟ තරගාවලියේ ප්‍රධානතම ශූරතාව එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මියට අයත් අශ්වාරෝහක එල්. රවි කුමාර් විසින් මෙහෙයවූ HERE AND NOW අසු දිනා ගත්තේය. මීටර් 1800ක දුරක් අශ්වයන් හය දෙනකු තරගයට පිවිස සිටි අතර, පී. සායි කුමාර් මෙහෙයවූ ANOTHER ACE අසු තරග ආරම්භයේ සිට අවසානය දක්වා ඉදිරියෙන් සිටි නමුත් තරගයේ අවසාන පියවරේදී දෙවැනියා බවට පත්විය. හසංග ජයරත්න මහතා සහ පබා ජයරත්න මහත්මියට අයත් අශ්වාරෝහක පී. වික්‍රම් විසින් මෙහෙයවූ BIG TREASURE අශ්වයා තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදී.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් රැසකගේ සහභාගිත්වයෙන් මේ වසන්ත සැණකෙළියේ තුරඟ තරගාවලිය පසුගියදා නුවරඑළිය ධාවන පථයේදී පැවැත්විණි.

එහිදී තරග 5ක් පෙළගස්වා තිබූ අතර. එදින පළමු තරගයට අශ්වයන් තිදෙනෙක් තරග කළ අතර, එඩ්වර්ඩ්ස් මහතාට සහ මහත්මියට අයත් එස්.ඩී. මහේෂ් මහතා විසින් පුහුණු කරන ලද අශ්වාරෝහක ආකාශ් අගර්වාල් විසින් මෙහෙයවූ ZULU FANTASY අශ්වයා තරගයේ පෙරමුණ ගත්තද අවසන් වංගුවදී අශ්වාරෝහකයා අසුගේ පිටින් වැටුණු අතර, අශ්වාරෝහක පී.එස්. කවිරාජ් විසින් මෙහෙයවූ STORMONT පෙරමුණ ගෙන ජයග්‍රහණය කළේය. පූගනේශ්වරන් විසින් මෙහෙයවන ලද KRABIට දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් විමට සිදු විය.

මීටර් 1400ක දුරක් ධාවනය වූ නිපෝන් අභියෝගතා කුසලාන තරගාවලියේදී අශ්වාරෝහක සායි කුමාර් විසින් මෙහෙයවූ QUEENS HALL මේ තරගයේදී අශ්වාරෝහක පී. වික්‍රම් විසින් මෙහෙයවා දෙවැනි ස්ථානය දිනාගත් අතර, QUEENS HALLගේ අශ්වගාල සගයා වන FABULOUS SHOW විසින් ඔහුගේ ප්‍රථම දිනුම වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගත්තේය. තරගයේ තුන්වැනි ස්ථානය CRACK OF DAWN හිමි කර ගත් අතර ඩග්මා වර්ල් මහත්මියට අයත් SANTOSට හතරවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

සුපරි අභියෝගතා කුසලානය වෙනුවෙන් අශ්වයන් පස් දෙනෙක් තරග කළ අතර, සුපුරුදු පරිදි ඉතාමත් වේගවත් GODSWORD අණසක පැතිරවූ අතර, ඔහුට අභියෝගයක් එල්ල කරමින් අශ්වාරෝහක පී. සායි කුමාර් විසින් මෙහෙයවූ STREET CAT දෙවැනි ස්ථානය ලබා ගත්තේය. පිළිවෙළින් ADMIRAL NELSON සහ MYSIC FLAME තෙවන සහ සිවුවැන ස්ථාන හිමිකර ගත්හ.

දවසේ පස්වැනි සහ අවසාන තරගය දේශීය පෝනීන් සහ දේශීය අශ්වාරෝහකයන් වෙනුවෙන් පැවති අතර ඒ සඳහා පෝනීන් හය දෙනෙකු තරග වැදුණි. එම්. සුදාගර් මහතාට අයත් NONIS තරගය ජයග්‍රහණය කළ අතර, අශ්වාරෝහක ජී. පූගන් විසින් දක්ෂ ලෙස පැදවූ CROWN FRIED දෙවැනි ස්ථානය සහ අශ්වාරෝහක එල්. ලෝගේන්ඩ්රන් විසින් පැදවූ MAALI තෙවැනි ස්ථානය ලබා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT