Monday, May 20, 2024
Home » වාර්තාගත ශතකයෙන් චමරි ලෝකෙන්ම එක වෙයි

වාර්තාගත ශතකයෙන් චමරි ලෝකෙන්ම එක වෙයි

by sachintha
May 9, 2024 2:15 am 0 comment

අබුඩාබියේ පැවති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට ශූරතාව හිමි කර දෙමිනි. මේ අවසන් තරගයේදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු අගනා ශතකයක් රැස් කළ අතර, එය ඇය විස්සයි20 ජාත්‍යන්තර පිටියේදී රැස් කළ දෙවැනි ශතකය විය.

පන්දු 63කදී හතරේ පහර 13කින් සහ හයේ පහර 4කින් වාර්තා වූ මේ ශතකය සමඟින් වාර්තා ගණනාවකට හිමිකම් කීමට චමරි අතපත්තුට හැකි

වීම කැපී පෙනිණි.

එහිදී කාන්තා විස්සයි20 තරගාවලියක අවසන් තරගයකදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට චමරි සමත් වූවාය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 2019 වසරේ එරටේදීම සිය මංගල විස්සයි20 ශතකය රැස් කළ චමරි මේ තරගයේදී වාර්තා කළ ශතකය සමඟ විස්සයි20 ජාත්‍යන්තර පිටියේ අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවලට එරෙහිව ශතක දෙකක් වාර්තා කළ පළමු ආසියානු ක්‍රීඩිකාව බවට ද පත්වූවාය.

ඇය මේ තරගයට ක්‍රීඩා කරන විට අවුරුදු 34යි දින 88ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ශතකයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට පත් වූයේ මින් පෙර 2018 වසරේ නවසීලන්තයේ සුසී බෙට්ස් අවුරුදු 30යි දින 277ක වයසේදී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ ශතකය මකා දමමිනි. ටැන්සානියාවේ ෆටුමා කිබාසු අවුරුදු 33 දින 37කදී කටාරයට එරෙහිව ශතකයක් වාර්තා කර ඇතත් ටැන්සානියාවට අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමිව නැත.

මේ තරගාවලියේ ඉනිම 6කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 226ක් රැස් කළ චමරි තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් වූවාය.

මේ වන විට විස්සයි20 තරග 131කදී ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් සමඟ ලකුණු 2957ක් රැස් කර ඇති චමරි ජාත්‍යන්තර විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ ලකුණුලාභිනියන් අතර, 7 වැනි තැනත් ආසියානු ක්‍රීඩිකාවන් අතර තෙවැනි තැනත් හිමි කර ගෙන සිටී.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT