Monday, May 20, 2024
Home » නැඟෙනහිර පළාත් කරාතේ නිලවරණය

නැඟෙනහිර පළාත් කරාතේ නිලවරණය

by sachintha
May 9, 2024 2:09 am 0 comment

කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

නැඟෙනහිර පළාතේ කරාතේ දෝ සම්මේලනයේ සාමාජික සංගම් 13ක් ගොනු කළ පෙත්සමක් සලකා බලන ලද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා එම පළාතේ කරාතේ දෝ නිලවරණය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයට හා එහි සභාපති එච්.එම්. සිසිර කුමාර, ලේකම් කීර්ති කුමාර බස්නායක, භාණ්ඩාගාරික රෝහණ ග්‍රේස්මන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා ඒ පිළිබඳ විරෝධතා ඇත්නම් ලබන 16දා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්මේලන අතුරින් වැඩිම ක්‍රීඩා සංගම් ප්‍රමාණයක් ඇති ක්‍රීඩා සම්මේලනය කරාතේ දෝ සංගමය වන අතර, නැඟෙනහිර පළාතේ කරාතේ දෝ සම්මේලනයේ සාමාජික සංගම් ගණන 30කි. එම සංගම් අතරින් නිලවරණයට ඉදිරිපත් වීමේ හා ඡන්දය භාවිත කිරීමේ හැකියාව ඇත්තේ සාමාජික සංගම් 9කට පමණක් බවට ජාතික සංගමය දන්වා ඇත. නමුත් එම සංගම් කවරක්ද යන්න ඔවුන් සාමාජිකයන්ටය දන්වා නැත. නැඟෙනහිර පළාත් නිලවරණයට ඉදිරිපත්විය හැකි පළාත් කරාතේ දෝ සංගම් 9 නම් කරන ලෙස එම සංවිධාන ක්‍රීඩා සංවර්ධන දොපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයට ලිඛිත කරුණු දක්වා ඇත. එහෙත් මේ දක්වා එම නිලවරණයේදී ඡන්දය දිය හැකි පළාත් සංගම් කවරේද යන්න ඔවුන් දන්වා නැති බව පෙත්සම්කරුවන් කියා සිටී.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව ප්‍රාදේශීය ක්‍රීඩා සංගම්වලට පළාත් සම්මේලනයේ ලියාපදිංචි වීමෙන් තොරව ඍජුවම ජාතික සම්මේලනයේ ලියාපදිංචි වීමේ හැකියාව ඇත. එහෙත් ඔවුන් පළාත් නිලවරණයට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ නම් පළාත් සම්මේලනයේ ලියාපදිංචි විය යුතුය. නීතිඥ අංජුල බණ්ඩාර මහතාගේ උපදෙස් මත නීතිඥ පී.බී. හේරත් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ලදි.

චන්දන ජයවීර

 

නියෝගය නොතකා සම්මේලනයේ නිලධාරීන් නිලවරණය පවත්වලා

කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් එම නියෝගයට පිටුපා ශ්‍රී ලංකා කරාතේ සම්මේලනය විසින් නැඟෙනහිර පළාතේ නිලවරණය පවත්වා ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. කරාතේ සම්මේලනයේ සභාපති සිසිර කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මඩකලපුවේ කල්ලඩි ප්‍රදේශයේ නිවෙසකදී එම නිලවරණය පවත්වා ඇත්තේ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් දින දෙකකට පසුව බව ද වාර්තා වේ.

අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසු දින වට්ස්ඇප් මාර්ගයෙන් ඒ පිළිබඳ කරාතේ සම්මේලනයේ සභාපතිවරයා දැනුවත් කළ බවත්, වට්ස්ඇප් පණිවුඩ පිළිගත නොහැකි බව සභාපතිවරයා දැනුම් දුන් බවත් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළ නැඟෙනහිර පළාත් කරාතේ සංගම් අතුරින් එකක් වන ඉන්ටර්නැෂනල් මාෂල් ආට්ස් ඇසෝෂියේෂන්ස් ශ්‍රී ලංකා ශාඛාවේ සාමාජික මොහොමඩ් ඉක්බාල් මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී ප්‍රකාශ කළේය. එහෙත් කරාතේ සම්මේලනයේ නිලධාරින් නැඟෙනහිර පළාතේ නිලවරණයට අදාළ සියලු කටයුතු සිදු කරනු ලැබුවේ වට්ස්ඇප් මාර්ගයෙන් බව ද ඔහු පැවසීය.

“අපි මේ ගැන නිලවරණයට පෙර දිනයේ රාත්‍රියේ මඩකලපුව පොලිසියට පැමිණිලි කළා. ඒ අනුව නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ මේ මස 4 වැනිදා උදෑසන 9.30 වෙද්දී මඩකලපුව පොලිසිය මේ අතුරු තහනම් නියෝගය ගැන කරාතේ සම්මේලනයට දැනුම් දීමක් කළා. ඒ ගැන ප්‍රකාශයක් සටහන් කරගන්න පොලිසියට කැඳවීමකුත් කළා. ඒත් ඔවුන් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත්තේ නිලවරණය පැවැත්වීමෙන් පසුවයි.” ඔහු කියා සිටියේය.

කරාතේ සම්මේලනයේ නිලධාරීන් සිය හිතවත් සංගම් කිහිපයක් පමණක් සහභාගි කර ගනිමින් එම නිලවරණය පවත්වා ඇතැයි ද, නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංගම් නොදන්නා අලුත් සංගම් රැසක් ලියාපදිංචි කර ඔවුන්ගේ සහභාගිත්වයෙන් තනතුරු 9කට නිලධාරින් පත් කර ඇතැයි ද ඉක්බාල් මහතා කියා සිටියේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT