Monday, May 20, 2024
Home » මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලයි

by sachintha
May 9, 2024 2:09 am 0 comment

මිරිහාන පොලිස් වසමේ තලවතුගොඩ හා නුගේගොඩ යන ප්‍රදේශයන්ට හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි ත්‍රිරෝද රථයකින් විටින් විට සැකකටයුතු අන්දමින් පැමිණෙන පුද්ගලයකු විසින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින මත්ලෝලීන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන බවට ලද තොරතුරක් මත විමර්ශන සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට මාදිවෙල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකොට, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 820ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරින සැකකාර පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 760ක් සහ සියුම් කිරුම් මිනුම් සඳහා යොදාගනු ලබන තරාදියක් ද සමඟ ඊයේ (8) උදෑසන අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

වැටලීම ආරම්භ කොට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පළමු සැකකරු වෙත මාදිවෙල ප්‍රදේශයේදී “මෙත් ඇම්පිටමින්” හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට්ටුවක් ලබා දී එම ස්ථානයෙන් පලා ගිය ප්‍රධාන සැකකරු කෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ රැඳී සිටින බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ (54478) පොලිස් සැරයන් වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත එම ස්ථානයට ගොස් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට පමණ ආසන්න බවත් තම රැකියාව සඳහා කුලී පදනම මත ලබා ගන්නා ත්‍රිරෝද රථවලින් ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් රැකියාව සිදුකරන බවත් හඟවමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ප්‍රධාන සැකකරු 27 වැනි වියේ පසුවන තලවතු ගොඩපාර, බැද්දගාන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් දෙවන සැකකරු 22 වැනි වියේ පසුවන මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය බෙදුම්කරු හට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව හා මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලැබෙන මුදල් යම්කිසි සංවිධානාත්මක අපරාධ කල්ලියකට යොමු කොට එයට සම්බන්ධව සිටින්නේ දැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා ප්‍රධාන සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හා විමර්ශන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහා මහතාගේ සහ නුගේගොඩ කලාප අංක 01 බාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙණිය මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත පොලිස් සැරයන් (54478) වසන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (82936) මධුසංක, (103719) ගයාෂාන් (103732) ධනංජය යන නිලධාරීහු විසින් සිදු කරනු ලබති.

 

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT