Home » 14 හැවිරිදි තම දියණිය දූෂණය කර වසර 6ක් සැඟව සිටි පියා මාට්ටු

14 හැවිරිදි තම දියණිය දූෂණය කර වසර 6ක් සැඟව සිටි පියා මාට්ටු

by mahesh
May 10, 2024 1:00 am 0 comment

– කනේ කැපුම් තුවාලයෙන් සැකකරු හඳුනා ගැනේ
– සැකකරු අධිකරණය මඟහැර සිටි නිසා අනවිස 241 පියවර යටතේ
– චෝදනා 2ක් යටතේ වසර 40කට දඬුවම්

දාහතර වැනි වියේ පසු වූ තම දියණිය දූෂණය කිරීමේ වරදට වසර හතළිහක සිර දඬුවමක් ලැබ වසර හයක කාලයක් තිස්සේ අධිකරණය මග හරිමින් වෙනත් නම්වලින් පෙනී සිටිමින් අම්පාර ප්‍රදේශයේ සැඟව සිටි පියාගේ කනේ තිබූ පැරණි කැපුම් තුවාලයක සලකුණකින් හඳුනාගෙන කොස්ගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙසේ සැඟව සිට සිරදඬුවම් නියම වූ පියා වූයේ අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ නව ජනපදයේ පදිංචි රන්නුළු ඊටින් ද සිල්වා නමැති අයෙකි.

සැකකරු අධිකරණය මගහැර සිටීම හේතුවෙන් 2022 සැප්තැම්බර් මස විසි දෙවැනි දින අනවිස 241 පියවර යටතේ චෝදනා දෙකක් යටතේ දඬුවම් පමුණුවමින් නඩුව අවසන් කර තිබේ.

ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක සිර දඬුවමක් ද රුපියල් විසිදහසක දඩ මුදලක් ද එය නොගෙවන්නේනම් මාස හයක ලිහිල් සිරදඬුවමක් ද දෙවන චෝදනාව යටතේ වසර විස්සක සිරදඬුවමක් ද රුපියල් විසිදහසක දඩ මුදලක් ද එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් ද එයට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ද ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් අවුරුදු තුනක ලිහිල් සිරදඬුවමක් ද නියම කර තිබිණි.

බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා (08) සිට ක්‍රියාත්මක වන පරිදි එම දඬුවමම නියම කළේය. මෙම සැකකරු අම්පාර පුළුකුණාව මංගලගම ප්‍රදේශයේ හා බලන්ගොඩ ආදී ප්‍රදේශවල අනවර්ථ නම්වලින් පෙනී සිටිමින් පදිංචි වී සිටින බවට කොස්ගොඩ පොලිසියේ සැරයන් ප්‍රියන්ත ( 59725) මහතාට ලද තොරතුරක් මත කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා දැනුම්වත් කර පෞද්ගලික නිවාඩු ගෙන ඉකුත් හතරවැනි දින අම්පාර මංගලගම පොලිස් ස්ථානාධිපති හමුවී තිබේ. ලැබුණු තොරතුරු සාර්ථකත්වය දැනුම් දී එහි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සහය ගෙන තොරතුරුකරුගේ සහය ගෙන විටින් විට ජංගම දුරකතන මඟින් සම්බන්ධ කරගෙන සැකකරුගේ නිවෙසට ගොස් තිබේ. බොරු චෝදනාවක් කියමින් චෝදනාව ප්‍රතික්ෂේප කරන විටදී නඩු විභාගයේ සඳහන් ක්‍රම විධි ආකෘති පත්‍රයේ සඳහන් සැකකරුගේ දකුණු කනේ හරස් අතට තිබූ පැරැණි කැපුම් සලකුණට අනුව නියමිත සැකකරු මොහු බව සනාථ කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීමේදී සැකකරු වරද පිළිගෙන ඇත.

ඒ අනුව සැකකරු ඉකුත් 05 වැනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට මොනරාගල බන්ධනාගාර අධිකාරී මඟින් බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

පෙරේදා (08) බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පෙර දී තිබූ තීන්දුවම නියම කරමින් තමා අසුවුණේ කන නිසා නේ දැයි පැවසීය.

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT