Monday, May 13, 2024
Home » ලංකාවේ සිවිල් සේවකයන්ට ඉන්දියාවේ පැවැති ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන

ලංකාවේ සිවිල් සේවකයන්ට ඉන්දියාවේ පැවැති ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන

by chanaka
February 29, 2024 3:38 pm 0 comment

යහ පාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) විසින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් සඳහා සංවිධාන කර තිබෙන ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන අද(29) මුසූරි හිදි ඇරඹිණ.

ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දියානු තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතා වැඩසටහනේ (ITEC) උපදෙස් යටතේ මෙම වැඩසටහන දෙසතියක් පුරා 2024 පෙබරවාරි 26 වන දින සිට මාර්තු 8 වන දින දක්වා පැවැත්වෙනු ඇත. අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, නගරසභා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, පළාත් අධ්‍යක්ෂවරු, සහකාර ප්‍රධාන ලේකම්වරු සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ වැනි ශ්‍රී ලංකාවේ විවිධ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 40ක් මෙම වැඩසටහනට සහභාගී වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් NCGG සහ පරිපාලන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය දුක්ගැනවිලි (DARPG) දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මෙම වැඩසටහන ‘උපරිම යහපාලනයක් – අවම ආණ්ඩුවක්’ යන ප්‍රතිපත්තිමය පාඨය යටතේ පුරවැසියන් සහ ජනතාව වඩා සමීප කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාලනය සහ පොදු සේවා සැපයීම ඉහළ නැංවීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති විවිධ නව්‍ය වැඩසටහන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමයි.

මෙම වැඩසටහන සඳහා සහභාගීවන්නන්ට සැමට නිවාස, ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගැනීම, වෙරළබඩ ප්‍රදේශවලට වැඩි අවධානයක් සමඟින් ආපදා කළමනාකරණය, අග්‍රාමාත්‍යතුමාගේ ජන් ආරෝග්‍යා යෝජනාක්‍රමය, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය, ස්වාමිතා යෝජනාක්‍රමය, GeM, පාලනය පාරදෘශ්‍ය කිරීම, යහ පාලනය සඳහා මෙවලමක් වන ආධාර් වැඩසටහන, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, චක්‍රීය ආර්ථිකය සහ මැතිවරණ කළමනාකරණය ඇතුළු ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති සාර්ථක මුලපිරීම් සම්බන්ධයෙන් දැනුම සහ අවබෝධය ලබා දෙනු ඇත. සහභාගීවන්නන්ගේ ඉගෙනුම් අත්දැකීම පාලනය සහ සමාජීය ගතිකයන් සම්බන්ධයෙන් ප්‍රායෝගික කරුණු සමඟින් තවත් පෝෂණය කිරීම සඳහා ඉන්දිරා ගාන්ධි ෆොරෙස්ට් නැෂනල් ඇකඩමි, මොරාජි දේසයි නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් යෝගා සහ ටජ් මහල් වැනි කීර්තිමත් ස්ථානවල සංචාරයන් ද සංවිධානය කර ඇත.

ඉන්දීය රජයේ සේවක, රාජ්‍ය දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප් අමාත්‍යාංශයේ පරිපාලන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය දුක්ගැනවිලි දෙපාර්තමේන්තුව යටතේ පවතින ස්වාධීන ආයතනයක් වන NCGG ජාතික සහ ජාත්‍යන්තර මට්ටම් ද්විත්වයෙහිදිම රාජ්‍ය ප්‍රතිපත්ති පාලනය සම්බන්ධයෙන් පර්යේෂණ, අධ්‍යයන සහ ධාරිතා ගොඩනැගීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කැප වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් NCGG බංග්ලාදේශය, කෙන්යාව, ටැන්සානියාව, ටියුනීසියාව, සීෂෙල්ස්, ගැමීබියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, ලාඕස්, වියට්නාමය, නේපාලය, භූතානය, මියන්මාරය, ඉතියෝපියාව, එරිත්‍රියාව සහ කාම්බෝජය යන රටවල් 17 හි සිවිල් සේවකයන් සඳහා පුහුණුව ලබා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT