Home » ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් NVQ සහතිකකරණය හිමිකරගනියි

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් NVQ සහතිකකරණය හිමිකරගනියි

by chanaka
February 29, 2024 3:42 pm 0 comment

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College), ජාතික වෘත්තීය පුහුණු වැඩසටහන (National Vocational Qualifications – NVQ) යටතේ NVQ Level 6 මට්ටම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

මෙමගින් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පිරිනමනු ලබන පාඨමාලා සඳහා ජාතික මට්ටමේදී වඩාත් ඉහළ පිළිගැනීමක් හිමි වන අතර, එය එම පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩාත් පහසුවෙන් රැකියා සඳහා පිවිසීමට අවස්ථාව සලසා දෙන සාධකයක් වනු ඇත.

NVQ සහතිකකරණය යනු කිසියම් පාඨමාලාවක් තාක්ෂණික හා වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක මට්ටමට සමාන බව තහවුරු කරන පිළිගැනීමකි. එමෙන්ම එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පසුකාලීනව එම විෂයයන්ට සම්බන්ධ උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. NVQ සුදුසුකම් හිමි වීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉදිරි ගමනට අතිශයින් වැදගත් වන බැවින් මෙම සහතිකකරණය ලබාගැනීමට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් කටයුතු කළේ ය.

NVQ සහතිකකරණය හිමිකරගැනීම සඳහා පූර්ව අවශ්‍යතා සපුරාලීමක් වශයෙන්, තෘතීයික සහ වෘත්තීය කොමිෂන් සභාවේ මගපෙන්වීම අනුව, තම පාඨමාලා සඳහා ජාතික නිපුණතා ප්‍රමිතීන් භාවිතා කිරීමට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් කටයුතු කළේ ය. ඒ අනුව, එම කොමිෂන් සභාවේ මෙන්ම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ (National Apprentice and Industrial Training Authority – NAITA) සහ UNESCO International Project on Technical and Vocational Education (UNEVOC) හි සහයෝගය ඔස්සේ, EASA Part 66 Basic Course in Aircraft Maintenance සහ ICAO 201 Flight Dispatcher යන පාඨමාලා සඳහා NVQ සහතිකකරණය හිමි විය.

“අලුතින් NVQ සුදුසුකම් හිමි වූ මෙම පාඨමාලා හැදෑරීම මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම වෘත්තීය ජීවිතය පුරාවටම විවිධ ප්‍රතිලාභ හිමිවනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධ ඉහළම තලයේ අධ්‍යාපනයක් අපගේ ශිෂ්‍ය ශිෂ්‍යවන්ට ලබාදීමටයි. මෙය විශිෂ්ටතම ගුවන් සේවා වෘත්තිකයන් පිරිසක් බිහිකිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් වනු ඇති බවට සැකයක් නැහැ.” ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා පැවසී ය.

NVQ තත්ත්වය හිමිකර ගැනීම යනු, තම පාඨමාලා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මෑතකදී ලැබූ ජයග්‍රහණ අතර එක් සුවිශේෂී ජයග්‍රහණයකි. ඊට අමතරව European Union Aviation Safety Agency (EASA) සහ International Air Transport Association (IATA) මෙන්ම ශ්‍රී ලංකාවේ, මාලදිවයිනේ සහ පාකිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල පිළිගැනීමද ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් වෙත හිමි වී තිබේ.

එමෙන්ම ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මේ වනවිට NVQ Level 7 සහතිකකරණය හිමිකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. එම තත්ත්වය හිමි වූ පසුව ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පිරිනමන පාඨමාලාවලට ප්‍රථම උපාධියකට සමාන පිළිගැනීමක් හිමි වනු ඇත. මීට අමතරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි ආයතනයක් බවට පත්වීම සඳහා ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මේ වනවිට එම කොමිෂන් සභාව සමග සාකච්ඡා පවත්වමින් සිටී.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලාවන් පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනයට වසර 34 කට වැඩි පළපුරුද්දක් ඇත. එම ආයතනය මේ වනවිට ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී ආයතනවල පිළිගැනීම මෙන්ම EASA, IATA සහ International Organization for Standardization (ISO) වැනි සුදුසුකම්ද හිමිකරගෙන තිබේ. එමෙන්ම එම ආයතනය Royal Aeronautical Society (RAeS) සහ European Aviation Maintenance Training Committee (EAMTC) යන සංවිධානවල සාමාජිකත්වයද දරයි. තවද ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, ගුවන් සේවා හා ආයතනික පුහුණු පාඨමාලා රැසක් මෙරටට හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT