මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් රථ ධාවනය කරන රියැදුරන් 06 දෙනකු සහ කොන්දොස්තරවරු 04 දෙනෙක් වේල්ලවීදීය පොලිසිය කළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. වේල්ලවීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පසුගිය සෙනසුරාදා කළ වැටලීමකදී බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස් හි පදිංචිකරුවෙක් වන එම සැකකරු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු ඉල්ලා සිටින මත්පෙති, මත්කරල්, අයිස්, හෙරොයින් ඇතුළු ඕනෑම මත්ද්‍රව්‍යක් සපයන අයෙක් බව පොලිසිය කියයි. බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු මගීන් රැගෙන කොළඹට බස් රථය ළගාවන විට මෙම පුද්ගලයාට අවශ්‍ය මත්ද්‍රවයේ වර්ගය සඳහන්කර දුරකතන ඇමතුමක් දෙන බවත් එම ඇමතුමට අනුව මත්ද්‍රව්‍ය ලබාදෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකතනයට දිගින් දිගටම රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඇනවුම් ලැබීමට පටන්ගෙන ඇත. ඒ ගැන අවධානය යොමුකළ වැටලීම කළ පොලිස් නිලධාරීන් සැකකරුට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ඇනවුම් භාරගන්නා ලෙසය. අනතුරුව පොලිස් නිලධාරීන් එම ඇනවුම්වලට අනුව සැකකරු සමඟ ස්ථාන කිහිපයකට ගොස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට මත්ද්‍රව්‍ය ලබාදෙමින් අත්අඩංගුවට ගැනීම කර ඇත.
මෙහිදී වැඩිම රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – මිනුවන්ගොඩ මාර්ගයේ ධාවන වන බස් රථවල සේවයේ නිරතව සිටින්නන්ය. ඒ හැරුණු කොට ගම්පහ – කොළඹ, කුරුණෑගල – කොළඹ මගී බස් රථ රියදුරන් ද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය කියයි. මෙම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.