පොලිස් අණ නොතකා පලා ගිය යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය තණමල්විල පොලිසියේ නිලධාරීන් පිරිසකට බීමත් පිරිසක් විසින් සවලකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (17) සවස් කාලයේදී කොමලිගම ප්රදේශයේදීය. මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම ක්රියාත්මක වූ තණමල්විල පොලිසියේ ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ කොමලිගම ප්රදේශයට ගොස් තත්ත්වය පාලනය කර පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියේ පැදිකරු ද සිටින බව පොලිසිය කියයි. ඔහු ලුණුගම්වෙහෙර, කිරිදිනදී මාවතේ පදිංචිකරුවෙක් වන 45 හැවිරිදි පුද්ගලයෙකි. සෙසු සැකකරුවන් දෙදෙනා තණමල්විල කොමලිගම පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 42 සහ 41 යන වයස්වල පසුවන්නන්ය. තණමල්විල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් වන දමින්ද (90500) සහ උදයකුමාර (67817) යන නිලධාරීන් දෙදෙනා තණමල්විල – උඩවලව මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු BIE 0222 අංකය දරණ යතුරු පැදිය නැවත්වීමට සංඥාකර තිබේ. එහිදී පොලිස් අණ නොතකා යතුරු පැදිය නොනවත්වා පලා ගොස් ඇත.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් එම යතුරුපැදිය පසු පස පොලිස් යතුරුපැදියකින් හඹාගොස් තිබේ. ඒ යන විට යතුරුපැදිය කොමලිගම නන්දසේන නැමැත්තාගේ නිවස ඉදිරිපිට නතරකර තිබෙනු දුටු පොලිස් නිලධාරීන් ඒ ගැන විමසිලිමත් වීමේදී යතුරුපැදිකරු නිවස තුළ සිටිනු දැන ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් එම යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පෙනී ගොස් ඇත්තේ ඔහු බීමතින් සිටින බවය. එබැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා දිවා රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් ප්‍රභාත් (75594) සහ පොලිස් කොස්තාපල් අනුරුද්ධ (23832) යන නිලධාරීන් දෙදෙනාව එම ස්ථානයට ගෙන්වාගෙන ඇත. එම නිලධාරීන්ගේ ද සහාය ඇතිව යතුරුපැදිකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී බීමතින් සිටි දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වී පොලිස් නිලධාරීන්ට සවලකින් සහ පොල්ලකින් පරදී ඇත. මේ බව තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ පැමිණ පහරකෑමට ලක්වූ නිලධාරීන් සිව් දෙනා රොහල්ගත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.