Thursday, May 16, 2024
Home » කුරුණෑගල නීති උපදෙස් කඳවුර සාර්ථකව නිම වේ

කුරුණෑගල නීති උපදෙස් කඳවුර සාර්ථකව නිම වේ

by sachintha
March 27, 2024 1:00 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය අනුබද්ධිත මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය හා නීති ආධාර ඒකකය එක්ව නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහිත නීති උපදෙස් කඳවුරක් කුරුණෑගල නගර ශාලා පරිශ‍්‍රයේදී මාර්තු 22 දවස පුරා පැවැත්විණි. එහිදී කම්කරු ආරවුල්, ඉඩම් ආරවුල් මුදල් ආපසු අය කරගැනීම්, පවුල් ආරවුල්, පාරිසරික ගැටලු, පහර දීම්, ශරීර හානි සිදු කිරීමට තැත් කිරීම, අනතුරු සඳහා වන්දි අය කරගැනීම, හොරකම් ආදී සියලු නීති ගැටලු සම්බන්ධයෙන් සේවාදායකයන් 150කට ආසන්න ප‍්‍රමාණයකට නොමිලේ නීති උපදෙස් දෙනු ලැබීය.

උපදෙස් සහ දේශන සදහා කුරුණෑගල නීතිය ආධාර කොමිෂන් සභාවේ සහ නීතිඥ සංගමය නියෝජනය කරමින් විවිධ නීති ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණ නීතිඥ මහත්ම මහත්මීහු 35ක් පමණ සහභාගි වූහ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සහ ආන්තිකත්වයට පත් ප‍්‍රජාවන්ට නොමිලේ නීතිඥ උපදෙස් ගැනීමට අවස්ථාව හිමි වූ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සිසුන්ට අධ්‍යයන කටයුතු ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර තුළින් අත්විඳීමටද ඉඩ සැලසිණි.

එමෙන්ම නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කුරුණෑගල ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු සංවර්ධන නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් සහ ග‍්‍රාම නිලධාරීන් 60 ක් පමණ සම්බන්ධ කර ගනිමින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නීතිඥ සපුමල් බණ්ඩාර මහතා සහ නීති ආධාර කොමිසමේ නීතිඥ සඳමාලි වික‍්‍රමසිංහ මහත්මිය විසින් පැවැත්විණි.

මානව හිමිකම් භාවිතය නිලධාරීන් සඳහා රිට් ආඥා, නීති ආධාර කොමිෂන් සභාවේ ක‍්‍රියා පටිපාටිය, නඩු සඳහා වන සීමා, අධිකරණ ධූරාවලිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව බල බෙදීම්, යනාදී ශ්‍රේෂ්ඨ පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරන ලදි.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව අවධාරණය කරමින් පාසල් සිසුන්ට නීතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාර්ථීන් විසින් මලියදේව ආදර්ශ විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, වාරියපොළ ඤාණෝදය විද්‍යාලය සහ වයඹ රාජකීය විද්‍යාලය යන විද්‍යාලයන්හි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් 500කට නීතිය යනු කුමක්ද? මත්ද්‍රව්‍ය භාවිතයේ නෛතික පැතිකඩ, සයිබර් අපරාධ, ලිංගික හිංසිනවලට ගොදුරු බවට පත් නොවීමට නීතිය යනාදි ක්ෂේත‍්‍ර පිළිබඳ සහ නීති වෘත්තියට පිවිසීමට පාසල් දරුවන් තුළ උනන්දුවක් ඇති කිරීම සඳහා වැඩසටහනක් පවත්වන ලදි. අධිකරණ අමාත්‍යාංශයේ අනුදැනුම මත, එක්සත් ජාතින්ගේ ළමා අරමුදල සහ යුරෝපා සංවිධානය මේ වැඩ සටහනට දායකත්වය සපයා ඇත.

මාවතගම – ආනන්ද විජේතිලක

මල්ලවපිටිය සමූහ – අනුර දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT