Monday, May 20, 2024
Home » වත්මන් ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඇත්තේ අහිතකර දේවල් බව වටහා ගත යුතුයි – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

වත්මන් ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඇත්තේ අහිතකර දේවල් බව වටහා ගත යුතුයි – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
March 28, 2024 1:00 am 0 comment

පවතින මැතිවරණ ක්‍රමයේ වැඩි වශයෙන් පවතින්නේ රටට අහිතකර දේවල් බව ජනතාව වටහා ගත යුතු යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඔහු මේ අදහස් පළ කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ අදහස් පළ කිරීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණු සංවාදයකට පෙරේදා (26) එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පළ අධිකරණ ඇමැතිවරයා:

“1994 , 2015 මැතිවරණවලදී සහ තවත් අවස්ථා කිහිපයකදී මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවට යෝජනා වුණා. පවතින මැතිවරණ ක්‍රමයේ වැඩි වශයෙන් පවතින්නේ රටට අහිතකර දේවල් බව වටහාගත යුතුයි. ඡන්ද කොට්ඨාස යටතේ මන්ත්‍රිවරුන් 160ක් සහ සමානුපාතික ක්‍රමය යටතේ තවත් මන්ත්‍රීවරුන් 65ක් තෝරාගැනීම නව මැතිවරණ ක්‍රමය මඟින් යෝජනා කර තිබෙනවා. අවශ්‍ය පරිදි බහු ආසන ක්‍රමය ඇති කළ හැකියි. ඒ ආසන ක්‍රමය පළාත් මට්ටමින් සිදු කරනවාද නැත්නම් පළාත් වශයෙන් කරනු ලබනවාද යන්න තීරණය කළ හැකියි.

“මේ ඡන්දයේදී අපහසුයි නම් ඉදිරි මැතිවරණවලදී අනිවාර්යයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි. ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙනවා. මේ සඳහා සාකච්ඡා කළ යුතුයි. ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ වසර දෙකක් සාකච්ඡා කළා. අපේ රටට සෙනෙට් මණ්ඩලයක් ඇති කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. අමෙරිකාව, ඉන්දියාව, ජර්මනිය, ජපානය වැනි රටවල සෙනෙට් මණ්ඩල තිබෙනවා. ඒ නිසා සෙනෙට් මණ්ඩලයක් වැනි ක්‍රමයක් අවශ්‍යයි. සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් සෙනෙට් මණ්ඩලයක් මෙරටට ගැළපෙනවා”.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ආචාර්ය සුජාතා ගමගේ, නිශාන්ත වර්ණසූරිය, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළ අතර, සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසුරිය මහතා ඇතුළු විද්වතුන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තිකයන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT