Sunday, May 12, 2024
Home » මා ඔයේ නාන්න ගිය සිසුන් 11කගෙන් හතරක් ගිලී මරුට

මා ඔයේ නාන්න ගිය සිසුන් 11කගෙන් හතරක් ගිලී මරුට

by sachintha
March 28, 2024 1:31 am 0 comment

අලව්ව-පොල්ගහවෙල පදිංචි ළමයින්

අලව්ව වළකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් එකොළොස්දෙනකුගෙන් සිව්දෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොල්ගහවෙල සාන්ත බර්නාඩ් මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කලණ ලක්ෂිත අමරසිංහ, රවිඳු රන්බින, කවියෙන් සෙනුර හා විදත් දෙව්මිත යන සිසු දරුවන්ය. ප්‍රදේශවාසීන් විසින් බේරාගත් සිසුවකු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

සිසුන් එකොළොස්දෙනා පාසල නිම වී අලව්ව වළකුඹුර ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසකට ගොස් අනතුරුව මා ඔයේ දිය නාමින් සිටියදී එයින් පස්දෙනකු දියේ ගිලී අනතුරට පත් වී ඇති අතර ඔවුන් දිය නෑ ස්ථානයේ අඩි 35ක් පමණ ගැඹුරු වළවල් සහිත ස්ථානයක් බවත් පොලිසිය සඳහන් කරයි.

සිසුන් පස්දෙනා දියේ ගිලුණු අයුරු අනෙක් මිතුරු සිසුන් දැක කෑ ගැසීමත් සමඟම ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඔවුන් ගොඩට ගන්නා විටත් එයින් සිව්දෙනකු මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

මියගිය සිසුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පොල්ගහවෙල රෝහ‍ලේදී සිදු කිරීමට නියමිතය.

අලව්ව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එච්.ටී. බණ්ඩාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ, අලව්ව – ජයන්ත දිසානායක අලව්ව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT