Home » බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාව මීට පෙර අනතුරු රැසකට මුහුණ දීලා

බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාව මීට පෙර අනතුරු රැසකට මුහුණ දීලා

by sachintha
March 28, 2024 1:21 am 0 comment

ගඟට වැටුණු පුද්ගලයන් 6 දෙනා මියගිය බවට සැකයක්

අනතුරට හේතුව කාර්මික දෝෂයක්

අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කළ භාණ්ඩ නෞකාවේ අනතුරින් පාලමත් සමඟ ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයන් 6 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවත්, ඔවුන් මියයන්නට ඇතැයි මෙහෙයුම් නිලධාරීන්ගේ විශ්වාසය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගඟට වැටුණු පුද්ගලයන්ගෙන් දෙදෙනකු බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වී ඇති අතර, ඉන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. අතුරුදන් වූවන් ඉදි කිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයන් බවත්, ඔවුන් ගෝතමාලා, මෙක්සිකෝ, හොන්ඩුරස් සහ එල් සැල්වදෝර් රටවලින් සේවයට පැමිණි අය බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම නෞකාව ගමන් ආරම්භ කිරීමෙන් පසු කාර්මික දෝෂයකට ලක් වී ඇති බවය. අනතුරට මොහොතකට පෙර නෞකාවේ කපිතාන්වරයා ඒ බව සඳහන් කරමින් හදිසි ඇමැතුමක් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

සිංගප්පූරු සමාගමකට අයත් මේ නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 වසරේ සිට තවත් අනතුරු තුනකට ලක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාලමෙහි ගැටීමෙන් පසු නෞකාවේ අසුරා තිබු බහාලුම් 13කට හානි සිදුවී ඇති අතර, ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට අනුමාන කරමින් අන්තරායකර ද්‍රව්‍ය සම්බන්ධව පුහුණුව ලැබූ අමෙරිකානු වෙරළාරක්ෂක කණ්ඩායමක් ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. අමෙරිකානු රජයේ තොරතුරුවලට අනුව අනතුරට ලක්වීමෙන් පසු එම නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් ද මතු වී ඇති අතර, එම අවදානම පිළිබඳ වෙරළාරක්ෂක කණ්ඩායමේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ. අමෙරිකානු හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෙහෙයුම් කටයුතුවල තවදුරටත් නිරතව සිටින බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT