Home » ප්‍රා/ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගේ දිරි දීමනා වැඩි කරයි

ප්‍රා/ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගේ දිරි දීමනා වැඩි කරයි

by mahesh
March 29, 2024 12:59 am 0 comment

– ප්‍රා/ලේකම්වරුන්ට රු. 15,000කින්
– ස/අධ්‍යක්ෂ ගණකාධිකාරීවරුන්ට රු. 10,000කින්

සියලු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන මාණ්ඩලික නිලධාරීන්ට ගෙවනු ලබන දිරි දීමනාව මාර්තු සිට දෙසැම්බර් දක්වා මාස 10ක කාලයකට වැඩි කරමින් ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් ඊයේ (28) නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් 15,000ක් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) හා ගණකාධිකාරිවරුන් සඳහා රුපියල් 10,000ක් වන ලෙස දිරි දීමනාව වැඩි කර ඇත.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇති අතර මෙම චක්‍රලේඛය ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරතන මහතාගේ අත්සනින් නිකුත් කර තිබේ.

මීට අදාළ 06/2024 දරන චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු වෙත අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරතන මහතා විසින් යවා ඇත. රජයේ සංවර්ධන යන්ත්‍රණයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථාන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවිබල ගැන්වීම මෙම දිරි දීමනාව වැඩි කිරීමේ අරමුණ වේ. ඉහත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2024 විමධ්‍යගත අය-වැය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන පරිපාලන වියදම්වලින් සකසාගත යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම චක්‍රලේඛය මුදල්, ආර්ථික ස්ථායීකරණ, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ද එකඟතාවයෙන් නිකුත් කර ඇති බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT