Home » අමෙරිකානු ගිණුම් නිලධාරිනියකගේ පිටකෝට්ටේ ගෙදරට හොරු පනිති

අමෙරිකානු ගිණුම් නිලධාරිනියකගේ පිටකෝට්ටේ ගෙදරට හොරු පනිති

by mahesh
March 29, 2024 12:59 am 0 comment

ලක්ෂ දාහතරහමාරක දෙස් විදෙස් මුදල් හා රන් මුදු උස්සලා

අමෙරිකානු ජාතික ගිණුම්කරණ නිලධාරිනියක් පදිංචි පිටකෝට්ටේ වෙත්තසිංහ ගාර්ඩන්හි දෙමහල් නිවෙසට ඇතුළු වූ කිසියම් පුද්ගල‍ෙකු දාහතර ලක්ෂ පනස්දහසකට ආසන්න විදේශීය මුදල්, මෙරට මුදල් සහ රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ, සොරාගෙන ගිය දේපොළ අතර අමෙරිකානු ඩොලර් 4,000ක් යුරෝ 50ක් රුපියල් 10,000ක් හා ග්‍රෑම් 10ක් බර රුපියල් ලක්ෂ දෙකක් වටිනා රත්තරන් මුදු දෙකක් වන බවයි. පැමිණිලිකාර 28 හැවිරිදි අමෙරිකානු ජාතික තරුණිය මිතුරියක් සමඟ දෙමහල් නිවෙසේ නැවතී අමෙරිකාවේ පිහිටි ආයතනයක ගිණුම්කාරිනියක ලෙස අන්තර්ජාලය ඔස්සේ රැකියාව සිදු කරයි. ඇය ඉකුත් 26 වැනි දින දෙමහල් නිවෙසේ උඩුමහලේ නිදා සිට රාත්‍රී 11.30ට පමණ අවදි වී පහත මහලේ ඇති පැමිණිලිකාරියට අයත් කාර්යාල කාමරයේ වැඩ කටයුතු සිදු කිරීම සඳහා පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී පැමිණිලිකාරියගේ මිතුරිය උඩුමහලේ අනෙක් කාමරයේ නිදාගෙන සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අලුයම 3.00ට පමණ ඇය වැඩ කටයුතු නිමකර යළි උඩුමහලේ පිහිටි නිදන කාමරය වෙත යෑමේදී ඇයගේ නිදන කාමරයේ දොර විවෘත කර කබඩ් ඇද දමා කබඩ්වල තිබූ භාණ්ඩ ද නිදන කාමරයේ ඇඳ උඩට දමා ඇති අයුරු දැක ඇත.

පැමිණිලිකාර තරුණිය නිදා සිටි මිතුරියට කතා කර නිවෙස තුළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව කබඩ් එක තුළ ලිපි කවරවල බහා තිබූ විදේශීය මුදල්වලින් ඩොලර් 4,000ක් මෙරට මුදල්වලින් රුපියල් 10,000ක් එම කබඩ් එකේ ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මුදු දෙකක් නොමැති බව දැක තිබූ බව පොලිසිය කීය. ඇය විසින් වැඩිදුරටත් නිවෙස තුළ පරීක්ෂා කිරීමේදී දෙවැනි මහලේ බැල්කනියේ ඇති අගුල කැඩී ගිය දොරක් විවෘත කර නිවෙසට යම්කිසි පුද්ගලයකු ඇතුළු වී ඇති බවට නිරීක්ෂණය වන බවට පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහතා පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT