Tuesday, May 14, 2024
Home » අසල්වැසියකු තැබූ ගින්නෙන් පිලිස්සුණු කත දින 4කට පසු මියයයි

අසල්වැසියකු තැබූ ගින්නෙන් පිලිස්සුණු කත දින 4කට පසු මියයයි

by sachintha
April 29, 2024 2:50 am 0 comment

ඉඩම විකුණා ගැනීමට ඉඩ නොදුන්නැයි උරණ වී අසල්වැසි නිවෙසක පුද්ගලයකු විසින් සිරුරට ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි කාන්තාවක සිව් දිනකට පසු පෙරේදා (27) මියගිය බව මොරගහහේන පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මොරගහහේන, වීදියගොඩ, මොහොට්ටිගොඩ තක්ෂිලා උද්‍යානයේ පදිංචිව සිටි එච්.ඒ. ධනපාලි නමැති 69 හැවිරිදි එක්දරු මවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු සිද්ධියෙන් පසු වැල්ලවාය ප්‍රදේශයේ ඥාති නිවෙසකට පලා ගොස් සැඟව සිට යළි පදිංචිව සිටි නිවෙස වෙත පැමිණ, එම ඉඩම රු. ලක්ෂ 50ක මුදලකට පුද්ගලයකුට විකුණා පලා යමින් සිටියදී කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. පිලිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවෙස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර, මුල් දිනවල එය රු. ලක්ෂ 60ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇති අතර, එම අවස්ථාවේදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුකාලීනව ප්‍රදේශයේ දියුණුවත් සමඟම නිවෙස සහ ඉඩම රු. ලක්ෂ 80කට විකුණන බව පවසා සැකකරු විවිධ පාර්ශවයන් අතර ප්‍රචාරය කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මීට සතියකට පමණ ඉහතදී ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් සැකකරුට රු. ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇතැයි පොලිසිය කියයි. එම ගැනුම්කරු මියගිය කාන්තාවට අහම්බෙන් හමු වී ඇති අතර, ඇය ඔහු සමඟ ඉඩම ලක්ෂ 60කට විකිණීමට තිබූ ඉඩමක් බවත්, ලක්ෂ 80කට මිලදී ගන්නේ ඇයි දැයි විමසා ඇත. එම කාරණය දැන ගැනීමත් සමඟම ගැනුම්කාර පුද්ගලයා ඉඩම් හිමියා (සැකකරු) හමු වී මේ බව පවසා තිබේ. අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් (සැකකරුගෙන්) ඉඩම් හිමියාගෙන් නැවත ඉල්ලා ඇතැයිද, එම අවස්ථාවේදී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත්, ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබාදිය හැකි බවත් පවසා ඇත. මෙයින් දැඩි කෝපයට පත් සැකකරු ඉකුත් 24 දා සවස මන්නා පිහියක් සහ පෙට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවසට ඇතුළු වී ඇයගේ සිරුරට පෙට්‍රල් විසිකර ගිනි තබා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී කාන්තාව නිවෙසේ නාන කාමරයේ හිසකෙස් කළු කරමින් සිට ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී ඇත. කාන්තාවට ගිනි තැබීමත් සමඟම කලබලයට පත් වූ සැකකරු කාන්තාව මිය යන්නට ඇතැයි සිතා ඔහු රැගෙන ආ මන්නා පිහියද නාන කාමරයේ ඉදිරිපිට පුටුවක් මත දමා ගොස් තිබූ බව පොලිසිය කියයි. සැකකරු මන්නා පිහිය සහ පෙට්‍රල් බෝතලය රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවසට ඇතුළු වන අයුරු එම කාන්තාවගේ නිවෙසේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ සටහන්ව තිබී ඇත.

පිලිස්සුම් තුවාල ලද කාන්තාව දන්නා හඳුනන නිවෙසක පුද්ගලයකුට ඇමතුමක් ලබා දී සැකකරුගේ නම පවසා ඔහු පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පවසා තිබූ අතර, ඔහු බිරිය සමඟ පැමිණ ඇයව ත්‍රිරෝද රථයකින් රෝහල්ගත කිරීමට උත්සාහ දරා ඇතත්, එලෙස ගෙනයාමට අපහසු වූ බැවින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. එම රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ඇයගේ එකම පුතු විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙනගොස් තිබූ අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා දහවල් ඇය මියගොස් තිබූ බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එම්.සී මධුශංක, පොලිස් කොස්තාපල්වරුන් වන (99257) ජයතිලක, (20837) ප්‍රදීප්, (93389) ජයවර්ධන මහත්වරු පරීක්ෂණ පවත්වති.

 

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

හල්තොට – විනීතා මානෙල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT