Friday, May 10, 2024
Home » වත්තල ඩෙංගු මර්දන සේවකයාගේ නිවෙසට පැන ටී-56 අවියෙන් ගහලා

වත්තල ඩෙංගු මර්දන සේවකයාගේ නිවෙසට පැන ටී-56 අවියෙන් ගහලා

by mahesh
March 29, 2024 12:58 am 0 comment

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවයේ නිරත ඩෙංගු මර්දන අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයකු පදිංචි මහබාගේ මත්තුමගල ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (28) උදෑසන ටී-56 අවියක් රැගෙන කඩා වැදුණු වෙඩික්කරුගේ ඉලක්කය වී තිබී ඇත්තේ එම සෞඛ්‍ය සේවකයාගේ සහෝදරයකුගේ පුතකු බවට සැකයක් විමර්ශනවලින් මතුවී තිබේ.

එය බොහෝ විට කොන්ත්‍රාත්තුවක් බවත් ඒ පිටුපස මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ආරවුලක් ඇති බවට සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තවමත් වැඩ නිමවා නැති මෙම සේවකයාගේ නිවෙසට යතුරුපැදියකින් උදෑසන 8.00ට පමණ වෙඩික්කරු පැමිණ ඇත්තේ තවත් අයකු සමඟ යතුරුපැදියක නැඟීය. 36 හැවිරිදි වියේ පසුවන සෞඛ්‍ය සේවකයා ගිනි අවියක් අමෝරාගෙන සිය නිවෙසට පැමිණි වෙඩික්කරු වෙත කඩා පැන ඔහු සමඟ පොරබදා ඇති බවත් එහිදී ගිනි අවියේ පතරොම් සමඟ පතරොම් බහාලන කොපුවත් තවත් කොටසකුත් ගැලවී බිම වැටී ඇති බවත් පොලිසිය කියයි. එහිදී කලබල වූ වෙඩික්කරු ගිනි අවියේ බඳ කොටසින් වැර යොදා සෞඛ්‍ය සේවකයාට පහරදී පලාගොස් ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

වෙඩික්කරු යතුරුපැදියේ නැඟී පැදිකරු සමඟ කඳාන ප්‍රදේශයට පලා ගොස් ඇති බව ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

ගිනි අවියේ බඳින් එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සෞඛ්‍ය සේවකයාගේ සහෝදරයාගේ පුතා මෙම නිවෙසට යන එන අයකු බවත් ඔහු මෙම නිවෙසේ වැඩි හරියක් නොගැවසෙන අයකු බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත. වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ කොන්ත්‍රාත්තුවකට අනුව වෙඩි තැබීමට බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෙඩික්කරුට ඉලක්කය වැරදී ගොස් ඇති බව පැහැදිලිවම පෙනී යන බව ද එම නිලධාරියා සඳහන් කළේය. මෙම සෞඛ්‍ය සේවකයා නීති විරෝධී ක්‍රියා සිදුකරන බවට තොරතුරක් වාර්තා නොවන බවත් ඔහුට තරහකාරයෝ ඇති බව හෝ දැනගන්නට නැති බවත් පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT