Home » රක්ෂණ වන්දි ගන්න බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් බොරු පැමිණිල්ලක්

රක්ෂණ වන්දි ගන්න බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් බොරු පැමිණිල්ලක්

by mahesh
March 29, 2024 12:58 am 0 comment

අලවතුගොඩ රිට්ටන්දෙණිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී තමන් සිටි කාමරයේ අගුළු කඩා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන තිබෙන බවට බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඔහු රක්ෂණ වන්දි ගැනීම සඳහා එම පැමිණිල්ල සිදුකර තිබෙන බව ආනවරණය වී තිබේ.

පොලිසිය පසුව ඒ සම්බන්ධයෙන් ඔහු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විදේශීය ජාතිකයා පරීක්ෂණ කිසිවක් අනවශ්‍ය බව පවසමින් පොලිසිය මඟහැර ප්‍රදේශයෙන් පිටව ගොස් ඇත.

සංචාරක වීසා මත පසුගිය 22 වැනි දින බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරටට පැමිණ තිබෙන අතර මහනුවර සංචාරයක නිරත වීමෙන් පසු ඔහු අලවතුගොඩ රිට්ටාදෙණිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන නතර වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. තම කාමරයේ තිබූ රුපියල් 90,000ක මුදලක් අත් ඔරලෝසු දෙකක්, සෝනි වර්ගයේ කැමරාවක් සහ ඇපල් වර්ගයේ කැමරාවක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන තිබෙන බවට විදේශිකයා පසුගිය 26 දින පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පරීක්ෂණ කිරීමේ දී අනාවරණය වී ඇත්තේ කාමරයේ දොරගුළු කාමරය තුළ සිට කඩා තිබෙන බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනවශ්‍ය බවත් රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා ලියවිල්ලක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් බවත් විදේශිකයා පවසා ඇත.

ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසිතී පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහු වැඩිදුර විමර්ශන අනවශ්‍ය බව පවසමින් පොලිසියෙන් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT