Home » අනාරක්ෂිත පැරණි පාලමට පිළියමක් යොදන්න යැයි බලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලති

අනාරක්ෂිත පැරණි පාලමට පිළියමක් යොදන්න යැයි බලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලති

by sachintha
April 11, 2024 1:53 am 0 comment

වසර 75කට වඩා පැරණි අනාරක්ෂිත කුඩා පාලම වෙනුවට සුදුසු මට්ටමේ පාලමක් ඉදිකර දීමටත් අබලන් මාර්ග පද්ධතිය සංවර්ධනය කර දීමටත් අදාළ අංශ අවධානය යොමු කිරීම ගම්වල කුඩා පාසල් දරුවන්ගේ සහ ගොවි ජනතාවගේ ජීවිත ආරක්ෂාවට හා ගමනා ගමන කටයුතුවලට පහසු වෙනවා යැයි ඔරුවලයාය ගමේ පදිංචි එම්. ජී. රංජිත් මහතා සඳහන් කළේය.

මිනිපේ මහ ගොවි ජනපදයේ පළවෙනි පියවරේ පිහිටි ඔරුවලයාය, ලූණුමඩලාකැටිය හා ගලේයාය යන ගම්මානවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා 1947 වර්ෂයේ දී පමණ ඉදිවූ ගලේයාය මාර්ගය එදා මෙදාතුර කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ නිසාවෙනි.

මහියංගණ – රන්දෙනිගල ප්‍රධාන මාර්ගයේ සිට ලූණුමඩලාකැටිය ග්‍රාම නිලධාරි වසමේ 33 ඇළ හන්දියේ සිට ගලේයායගම ඇතුළු ගම්මාන කිහිපයකට යෑමට ඇති මාර්ගය සහ යෝධ ඇළ හරහා ඉදිකර ඇති අනාරක්ෂිත කුඩා පාලම පිළිබඳව අදාළ අංශ අවධානය යොමු නොකිරීම නිසා එම මාර්ගය සහ පාලම අද අබලන් තත්ත්වයට පත්වීමට හේතුව බව ද ගම්වාසීහු පෙන්වා දෙති. ගොවි ජනපදයේ පළවෙනි පියවරේ පිහිටි ගොවි පවුල් 250ක පමණ ජනතාවක් පදිංචිව සිටින ඔරුවලයාය, ලූණුමඩලාකැටිය හා ගලේයාය යන ගම්මානවල ජනතාව අනාරක්ෂිත පාලම සහ අබලන් මාර්ගය ප්‍රයෝජනයට ගනු ලබයි.

ඔරුවලයාය ගමේ පදිංචි එම්.ජී. ධර්මසිරි මහතා – මෙම අනාරක්ෂිත පාලමද මේ වෙන විට මරුවට අත වනන පාලමක් බවට අද පත් වී තිබෙනවා. අත් ඇඳි රහිත පාලම මතින් කුඩා පාසල් ළමයින්, වයෝවෘද්ධයින්, ගැබිනි මවුවරුන්, රෝගීන් ඇතුළු ගම්වාසීන් දිනපතා සිය අවශ්‍යතා සඳහා ගමන් කරනවා. අනාරක්ෂිත පාලම මතින් ගමන් කිරීමේ දී යම් අත්වැරැද්දකින් පය පැටලී හෝ වෙනත් ක්‍රමයකින් පාලමින් පිටතට විසිවී මහ ඇළට වැටුණේ නම් ඔහුට හෝ ඇයට සිදුවන්නේ ජීවිතයෙන් සමුගන්නට හෝ කාගේ හරි පිහිටෙන් ගොඩඑන්නටයි. එවැනි අවස්ථා බොහෝමයක් ගෙවී ගිය කාලය තුළ අසන්නට දකින්නට ලැබුණු බවත් ඔහු පැවැසීය.

 

හසලක සමූහ ඊ. එම්. එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT