Home » පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් -කොළඹ මහ නගර සභාව

පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් -කොළඹ මහ නගර සභාව

by sachintha
April 19, 2024 1:14 am 0 comment

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21දා එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.

ජාවාරම්කරුවන් විසින් එම වෙළෙඳ සල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනාවරණය වී තිබෙන බව ද හෙතෙම පැවසීය. ඔහු පවසන්නේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි.

එබැවින් කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසුවී තම මිල මුදල් නිකරුණේ නාස්ති කර නොගන්නා ලෙසයි.

එම අනවසර වෙළෙඳ සල් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වෙළෙඳ සල් හිමියන් දැනුවත් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුල්ම දැනුම්දීම කර ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 20 වැනිදාය. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාව විසින් පසුගිය ජනවාරි මස 02වැනිදා වෙළෙඳ සල් හිමියන් සියලුම දෙනාට දින 14ක් ඇතුළත වෙළෙඳ සල් ඉවත් කර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ති‍බේ. ඉන් අනතුරුව අවස්ථා කීපයකදීම මේ වෙළෙඳ සල් හිමියන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස වාචිකව උපදෙස් දුන් බවද කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නමුත් නියමිත කාලයේදී ඉන් ඉවත් නොවූ නිසා පසුගිය 16 හා 17දෙදින තුළ මේ අනවසර වෙළෙඳ සල් ඉවත් කිරීමට පියවර ගත් බවද ඉංජිනේරුවරයා සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ මේ වෙළෙඳ සල් ඉවත් කිරීමට නගර සභාවට වැය වූ මුදල ඉදිරියේදී ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවයි. කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළෙඳ සල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදී ද මේ ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළෙඳ සල් 73ක් ඉවත් කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක් වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී ඊයේ (18) පැවැති එම මාධ්‍ය හමුවේදී නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා මෙසේද පැවසීය.

අපි 2013දී මේ ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළෙඳ සල් ඉවත් කළාට පසුව, පසුගිය කොවිඩ් හා අරගලය පැවති සමයේදී යම් යම් සංවිධානාත්මක පිරිස් විවිධ කාලසීමාවන්වලදී පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට වෙළෙඳ සල් ඉදිකර තිබුණා. ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබුණත් ඉවත් නොවූ නිසා මේ වෙළෙඳ සල් ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීමක් කළා.

මේ වන විට කොළඹ මැනිං වෙළෙඳ පොළේ පමණක් අනවසර වෙළෙඳ සල් 231ක් තිබෙන බවට හඳුනාගෙන ඇතැයිද ඔහු කීය. එම වෙළෙඳ සල් ඉවත් කිරීම පිළිබඳව ද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර එම වෙළෙඳ සල් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අනුකමිටුවක් පත්කර තිබෙන බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ජපාන ආයෝජකයකුට ලබාදෙන බවට වාර්තා පළ වුවද ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිම ගිවිසුමකට එළඹ නැති බවයි. නමුත් එම ව්‍යපෘතියේ වටිනාකම සම්බන්ධයෙන් මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවද ඔහු කීය.

එමෙන්ම මේ වෙළෙඳ සල් ඉවත් කිරීම හා පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට ලබාදීම අතර කිසිම සම්බන්ධයක් නැති බවයි.

ජනතාවට හිතෙන හිතෙන ආකාරයට අනවසර ඉදිකිරීම් කිරීමට නීතියෙන් කිසිම අයිතියක් නැතැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් අයුතු ලාභ ප්‍රයෝජන ලබාගන්නා බවයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT