Home » බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ මගීන් දෙපිරිසක් අතර ගැටුමක්

බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ මගීන් දෙපිරිසක් අතර ගැටුමක්

by sachintha
April 19, 2024 1:47 am 0 comment

දුම්රිය ධාවනයත් ප්‍රමාද වෙයි

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට ඊයේ (18) අලුයම හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගීන් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ මහත් කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

දුම්රිය ඊයේ (18) අලුයම 12.05ට පමණ හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූ අතර, සිංහල හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් එම දුම්රියේ මැදිරි සියල්ලම අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී ගොස් තිබිණ. මේ අතර රාත්‍රී තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට ළඟා වීමත් සමඟ හැටන් දුම්රිය ස්ථානයේ විශාල මගීන් පිරිසක් එම දුම්රියට ගොඩ වීමට පොරකමින් සිටියදී දුම්රියේ තෙවැනි පංතියේ මැදිරිවල සිරවී සිටගෙන සිටි මගීන් ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. ඒ සමගම දුම්රිය ස්ථානයේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගත් අතර, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ගැටුම මැඩපැවැත්වීමට උත්සාහ ගත්හ.

මගීන් දෙපිරිස අතර මෙම උණුසුම්කාරී තත්ත්වය පැයකට ආසන්න කාලයක් පුරා පැවැති අතර, මේ නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ද හැටන් දුම්රිය ස්ථානයේ නවතා තබාගෙන සිටීමට දුම්රිය බලධාරීන්ට සිදු විය. අනතුරුව පොලිස් නිලධාරීන් සහ දුම්රිය බලධාරීන් එක්ව සිද්ධිය සමතයට පත් කළ අතර, හැටන් දුම්රිය ස්ථානයේ සිටි මගීන් රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරි මැදිරියකට නංවා දුම්රිය යළි අලුයම 12.50ට පමණ හැටන් දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය කරවීමට පියවර ගෙන තිබිණ.

අතින් පයින් පහර දීම හේතුවෙන් මගීන් කිහිපදෙනකුට ද සුළු තුවාල සිදුව තිබිණ. කෙසේ වෙතත් බදුල්ල – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ඊයේ (18) උදෑසන 6.50ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය.

සොරණාතොට සමූහ – සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT