Thursday, May 2, 2024
Home » රනිල් නමැති ජාතික නායකයා ලොව කිසිවකුට හසුරුවන්න බෑ – එජාප සභාපති, පා.ම. වජිර අබේවර්ධන

රනිල් නමැති ජාතික නායකයා ලොව කිසිවකුට හසුරුවන්න බෑ – එජාප සභාපති, පා.ම. වජිර අබේවර්ධන

by sachintha
April 19, 2024 1:48 am 0 comment

රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා ලොව කිසිවකුට හැසිරවිය නොහැකි බවත්, මෙරට අනාගතය ආරක්ෂා වීමට නම් ඔහු රටේ බාරකරු විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ(18) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:

“නිදහසෙන් පසු වසර ගණනාවක් අප රට පාලනය කළ සියලු නායකයන් අතින් සිදු වූ අඩුපාඩුකම් මත රටට ජාතියට ආර්ථිකයට හා සමස්ථ ජනතාවට බොහෝ අවාසනාවන්ත සිදුවීම් සිදු වූ බව මේ ලැබුවා වූ නව වසරේ අප පළමුවෙන්ම පිළිගත යුතුය. වර්තමානයේද කිසිදු දේශපාලන පක්ෂයකට එයින් ගැලවීමට පුළුවන් කමක් නැත. උදාහරණයක් ලෙස: ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ රට පාලනයට සම්බන්ධ වි තිබෙනවා; ඇමැති ධුර දරලා තිබෙනවා; ඒ ඇමැති ධුර දරන කාලයේ රටේ ආර්ථිකය ගැන නොසලකා කටයුතු කර තිබෙනවා. සිදු වූ වැරදි සිදු වී හමාරය. ඒවා විවේචනය කිරීමෙන් දැන් පලක් නෑ. එහෙනම් රටේ ප්‍රශ්නය විසඳාගන්න සිදු වූ වැරදි අඩුපාඩු සකස් කරගන්න සියලු දෙනා දායකත්වය දිය යුතුව තිබෙනවා. එසේ නැතිව වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම සහ පිළිගත නොහැකි බොරු කීමට ක්‍රියා කරන අය තම තමන්ගේ ආගම් අනුව මහා පාපකර්මයකට පාත්‍ර වන බව මතක තබා ගත යුතුයි.

“මේ රට කිසිවෙකු භාර නොගන්නා අවස්ථාවක රනිල් වික්‍රමසිංහ නමැති තනි පුද්ගලයා මේ රට භාර ගෙන ප්‍රකාශ කළේ තමාට මෙය තනිවම කළ නොහැකි බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත්ය. ඇතැම් අය සහයෝගය දෙනවා. සමහරු අදටත් සහයෝගය නොදී දේශීය වශයෙන් ජනතාව නොමඟ හරිමින් විදේශීය වුවමනාවන් ඉටු කරමින් සිටින බව අපට පෙනී යනවා. ඉතිහාසය පුරා අප රට පාවා දීම් සිදු කළේ ශ්‍රී ලාංකිකයන් විසින්මයි. වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්තවයෙන් ගොඩගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. යන ගමන ආපස්සට හැරෙවුවොත් ආපසු හැරෙන්න වෙන්නෙ ගෑස් පෝලිමට, තෙල් පෝලිමට සහ කන්න නැති පෝලිමට බව මතක තබා ගත යුතුයි. ඒ අපරාධය මේ රටට කරන්න එපා කියලා මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ සියලු දෙනාට මතක් කරන්න කැමතියි.

“කොයිතරම් කඩාගෙන වැටුණු රටක් ශක්තිමත් කළාද කියනවා නම් රුපියල මූල්‍ය වෙළඳ පොළෙහි ඉහළින්ම ක්‍රියාකරන මූල්‍ය ඒකකයක් බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා නායකත්වය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගත වූ සති කිහිපය තුළ ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් තිබේ. ලෝකයේ පිළිගත් වෙළඳපොළ පිළිබඳ දත්තයන් කරුණු ඉදිරිපත් කරන Bloomberg සමාගම ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රුපියල කැපී පෙනෙන වර්ධන වේගයක් ඇතිකරගෙන තිබෙන බවත් 7% ක ප්‍රතිශතයකට පැමිණ මූල්‍ය වෙළඳ පොළෙහි ඉහළින් ක්‍රියාකරන බවත්ය.

“ජනාධිපති ධුරයට ඉදිරිපත් වන පුද්ගලයන් දෙස බැලූ විට ඔවුන් හසුරුවන්නේ වෙනත් පුද්ගලයන් විසින්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දේශපාලනය පිළිබඳ නිසි තීන්දු තනියම ගැනීමට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියාවේත් ලෝකයෙත් ඉහළ රටක් හැටියට ඔසවා තැබීමට හැකි නායකයෙක්. එම නිසා අනාගත පරපුර ආරක්ෂා වී ඇත. එවැනි නායකයෙකු ආරක්ෂා කරගත යුතුයි.

“මගේ මිත්‍රයෙක් මෑතකදී පිටරටක සිට පැමිණි අවස්ථාවේදී ඔහු කොළඹ සිට ගල්කිස්ස දක්වා ත්‍රීරෝද රථයක ගමන් කර තිබුණා. ඒ අවස්ථාවේදී ඔහු ඒ ත්‍රිරෝද රථයේ රියැදුරාගෙන් අහලා තිබුණා, දැන් රටේ තත්ත්වය කොහොමද කියලා, ඒ අවස්ථාවේදී රියැදුරු මහත්මයා කියනවා අනේ මහත්තයෝ අර මිනිහට පින්සිද්ද වෙන්න අද අපි කාලා ඇඳලා ඉන්නවා කියලා. ඒ අවස්ථාවේදී මගේ මිත්‍රයා රියැදුරාගෙන් අහනවා කවුද අර මිනිහා කියන්නේ කියලා. එවිට ඔහු පිළිතුරු දෙනවා රනිල් මහත්තයට පින්සිද්ද වෙන්න කියලා. ඊට පස්සේ මගේ මිත්‍රයා අහනවා ඡන්දෙදි මොනවා වෙයිද කියලා? එවිට රියැදුරු කියනවා මහත්තයෝ අපි හැමෝම රනිල්ට ගෞරව දැක්විය යුතුයි කියලා.

එසේ නම් දැන් අපි කල්පනාවෙන් වැඩ කළ යුතුයි. වැරදුණු ජාතිය නිවැරදි විය යුතුමයි. ශ්‍රී ලාංකික සමස්ත ජනතාව මීළඟ ජනාධිපති මැතිවරණයේදී ජාතික එකඟතාවකින් ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජාතික නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරගත යුතුයි.”

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT