Home » රට ගොඩ ගත් ජාත්‍යන්තර මට්ටමේ නායකයකු අපට ඉන්නවා – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර
තවදුරටත් නායකයන් සෙවීමේ අවශ්‍යතාවක් නැහැ

රට ගොඩ ගත් ජාත්‍යන්තර මට්ටමේ නායකයකු අපට ඉන්නවා – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

by sachintha
April 29, 2024 1:53 am 0 comment

අවුරුදු දෙකක් තුළ විශාල පරිවර්තනයක් සිදු කළ ජාත්‍යන්තර මට්ටමේ නායකයකු මේ රට තුළ ඉන්නා බවත් තවදුරටත් නායකයන් සෙවීමේ අවශ්‍යතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා,

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය අසලදී මැයි පළමු වැනිදා එක් ලක්ෂ දහදාහකට අධික ජනතාවගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට පමණක් නෙවෙයි අනෙකුත් දේශපාලන පක්ෂවලටත් මැයි දින රැලියක් පවත්වන්නට අවකාශය උදා වුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි කියන එක මුළු රටම දන්නවා. විශේෂයෙන්ම මේ රටේ රනිල් වික්‍රමසිංහ මහතා හැර කිසිම කෙනෙක් රට භාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා ඔය කොච්චර කයිවාරු ගැහුවත් මැයි දින පෙළපාළි තිබ්බත් ඒ හැම දෙයක්ම තියන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි කියන එක හැමෝම තේරුම් අරගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් හැමදාම කළේ කිසිම දෙයක් කරගෙන යන්නට දෙන්නේ නැතුව කඩාකප්පල් කරලා, ගෙනියන වැඩපිළිවෙලුත් අකර්මණ්‍ය කරන්නට උත්සාහ කරන එක විතරයි. දැනට වසර ගණනාවකට කලින් ජනතා අයිතියට පවරන්නට තිබුණු ව්‍යාපෘතියක් තමයි උමා ඔය කියන්නෙ. සමන්ත විද්‍යාරත්න උමා ඔයේ හිලක් තියෙනවා, ඒක නතර කරන්නට බැරි හිලක්, බණ්ඩාරවල පැත්තේ ජීවත් වෙන්නට බැරිව යනවයි කියලා විශාල ප්‍රශ්නයක් ඇති කළා. අනාගතය ඉවරයි, කෘෂිකර්මාන්ත ඉවරයි කියලා විශාල බේගල් ඇදබාන්නට පටන් ගත්තා. මේ විරෝධතාවලට ගෞරවනීය පූජ්‍ය පක්ෂයත් අහු වුණා. පෙළපාළිවලටත් සහභාගි වුණා. ජනතාවත් කළු කොඩි දාගෙන දවසේ වැඩකටයුතු අකර්මණ්‍ය කරගෙන සමන්ත විද්‍යාරත්නගේ බොරුවලට අහු වුණා.

ඉරාන ජනාධිපතිතුමා පැමිණ උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරුවා. එක පැත්තකින් පානීය ජලයත් අනෙක් පැත්තෙන් කෘෂිකාර්මාන්තයට අවශ්‍ය ජලයත් ඒ වගේම විදුලි උත්පාදනයත් මේ ව්‍යාපෘතිය තුළින් ළඟා කර ගැනීමට හැකියාව ලැබුණා. ඌව වෙල්ලස්සට තිබුණු පානීය ජල ගැටලුව, බලපාන්නා වූ දැඩි නියඟයෙන් මිදීමට මෙය අවස්ථාවක් වෙනවා. අතීතයේ ඌව වෙල්ලස්සට හිමිවෙලා තිබුණු තත්ත්වය නැවතත් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. සමන්ත විද්‍යාරත්න ඇතුළු නඩයට කියන්නේ දැන්වත් මේ ලංකාවට එන ව්‍යාපෘති නතර කරන්න උත්සාහ කරන්න එපා. රටට ආදරයක් තියෙනවා නම් බස් ගිනි තියන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිනි තියන්නේ නැහැ. රටට ආදරයක් තියෙනවා නම් බැංකු ටික කොල්ලකන්නේ නැහැ. රටේ ජනතාව ඝාතනය කරන්නේ නැහැ. රටේ ජනතාවට ආදරය නොකරන රටේ දේවල් කාබාසිනියා කරන කාලකන්නි කොට්ඨාසයක් විදියට තමයි ජනතා විමුක්ති පෙරමුණ පේන්නේ කියන එක සඳහන් කළ යුතුයි.

මුළු ලෝකයම බලාගෙන හිටියා මේ අර්බුදකාරී අවස්ථාවක ඉරාන ජනාධිපතිවරයා ලංකාවට එයිද කියලා. මේ රටේ රාජ්‍ය නායකයාගේ නොබැඳි පිළිවෙත නිසා කිසිදු චකිතයකින් තොරව ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඒ වගේම සමහර අය බලාපොරොත්තු වුණා ඉරාන ජනාධිපතිවරයා අපේ රටට එද්දී ඊශ්‍රායලය අපත් එක්ක අහිතක් ඇති කර ගනියි කියලා. ඉරාන ජනාධිපතිවරයා රටෙන් පිටව යන ගුවන්යානය ගුවන්තොටුපොළේ තියෙද්දිම ඒ අසලටම ඊශ්‍රායල් ගුවන්යානයකින් ඊශ්‍රායලයට අපේ කෘෂිකර්මාන්තයට යන ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට යානයක් පැමිණීම විශේෂ අවස්ථාවක් ලෙස සටහන් කරන්නට පුළුවන්. ඒ වගේම පලස්තීනයේ ඇති වෙලා තිබුණු තත්ත්වය හේතුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ඒ දරුවන් වෙනුවෙන් වෙන් කරන්නට ජනාධිපතිවරයාට හැකි වීම විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙන තත්ත්වයත් එක්ක බැලුවම ඒ ඩොලර් මිලියනය ඩොලර් කෝටියකටත් වඩා වටිනවයි කියලා තානාපතිවරයා කිව්වා. විශේෂයෙන්ම රත්න දීප හෝටල් සමූහ ව්‍යාපාරය විශාල හෝටලයක් ඉදිකරලා සංචාරක ව්‍යාපාරයට පසුගියදා දායක වුණා.

මේ හෝටලය කොළඹ නගරයේ සංධිස්ථානයක් බවට සංචාරක ව්‍යාපාරය ආකර්ෂණය කරගන්නා බව ස්ථිරයි. ඒ වගේම පෝට් සිටිය තුළ අවන්හල් ඉදි වෙමින් සංචාරක ව්‍යාපාරය ආකර්ෂණය කර ගැනීම සිදුවෙනවා. ඒ වගේම බෝගම්බර බන්ධනාගාරය තිබූ භූමිය මේ වෙනකොට සංචාරක හෝටලයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා අවුරුදු දෙකක් තුළ විශාල පරිවර්තනයක් මේ රටේ සිදුවෙමින් ජාත්‍යන්තර මට්ටමේ නායකයකු මේ රට තුළ ඉන්නවා. ඒ නිසා තවදුරටත් අපට නායකයන් සෙවීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම රටේ අනෙකුත් ක්ෂේත්‍රයන් ගත් විට ගැබිනි මාතාවට පෝෂණ මල්ලක් ලබාදෙමින්, ඉන්පසුව පාසල් ශිෂ්‍යයන්ට ආහාර ලබා දෙමින් සියලු ක්ෂේත්‍රයන් ආරක්ෂා කර ගන්නට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ වගේම පවුල් ලක්ෂ 28කට හාල් කිලෝ 10 බැගින් ලැබිලා ඔවුන්ව ජීවත් කරවන්නට ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා. ඒ වගේම උරුමය වැඩසටහන තුළින් සින්නක්කර ඔප්පුවක හිමිකම ලබා ගැනීමට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. ඒ නිසා කිසිදු සැකයකින් තොරව ජාතියේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි කියන එක ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට එන්න. මැයි පළමුවැනිදා හවස දෙකට මේ රටේ ඒ ජාතික නායකත්වයත් එක්ක එකතු වෙලා මේ රට ඉදිරියට ගෙනයන ගමනට එකතු වෙන්න කියන ආරාධනය කියන්න කැමතියි. යැයි ප්‍රකාශ කළේය.

 

නෙත්මි පූජනී රත්නායක සහ

මැද කොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT