Tuesday, May 14, 2024
Home » ‘රට වටා ජනමාධ්‍යවේදියෝ’ පළමු සංවත්සරය කෑගල්ලේදී

‘රට වටා ජනමාධ්‍යවේදියෝ’ පළමු සංවත්සරය කෑගල්ලේදී

by sachintha
April 29, 2024 1:54 am 0 comment

මෙරට විදත් මුද්‍රිත ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳු ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව වන රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සරය දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) කෑගල්ලේදී පවත්වනු ලැබීය.

රට වටා ජනමාධ්‍යවේදීන්ගේ වට්ස්ඇප් සමූහය සංගමයක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 2021 වසරේ පින්නවල අලි අනාථාගාරය තුළදී මෙම සංගමයේ පළමු සැසිවාරය පවත්වන ලද්දේ දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාකාරී ලෙස මාධ්‍ය කටයුතුවල නිරත වී සිටින තෝරාගත් ජනමාධ්‍යවේදියෝ සුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

ඒ අනුව ආරම්භ කරන ලද රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ලෙස කෑගල්ලේ සාලිය ගමසිංහ ආරච්චි මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස කුරුණෑගල සුනිල් එස්. පැල්ලන්දෙණිය මහතා ද භාණ්ඩාගාරික හැටන් රංජිත් රාජපක්ෂ මහතා, මෙම සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේ හලාවත ජූඩ් සමන්ත මහතාය. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් විධායක සභිකයන් එක් අයකු බැගින් කටයුතු කරනු ලබයි.

දැනට ලියාපදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ සංවිධානයක් ලෙස මේ ගමන්මඟේදී අත්කරගෙන ඇති ජයග්‍රහණ රැසක් ඇති අතර මෙම සංගමය හරහා දිවයින පුරා විසිරී සිටින මාධ්‍යවේදීන්ගේ විවිධ වූ සාධාරණ ගැටලු වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වෘත්තීය දැනුම එක් කිරීමට විවිධ වැඩසටහන් සංවිධානය කරයි. පාසල් මට්ටමින් මාධ්‍ය ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන දරුවන් වෙනුවෙන් නොමිලේ අවශ්‍ය දැනුම ලබා දීමට අවශ්‍ය න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම ලබා දෙන අතර මේ රට තුළ මිය යන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් විවිධ සුබසාධන සේවා මෙන්ම ඒ සඳහා සහභාගි වෙමින් ශෝකය පළ කරමින් එම අවස්ථාවන්ට සහභාගි වෙමින් කටයුතු කරයි.

මෙහිදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

ප්‍රධාන කුලුනු තුනක් ලෙස අප සලකන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. නමුත් අප දන්නවා සිව් වැනි කුලුන වන්නේ ජනමාධ්‍ය කියලා. නායකයන් පත් කරන්නත් නායකත්වයෙන් පහ කරන්නත් මාධ්‍යයට විශාල බලයක් තියෙනවා. පුංචි කාලයේ ඔබ ආරම්භ කරපු මාධ්‍යයේ තැනට වඩා අද එය හාත්පසින් වෙනස් වෙලා. අද අසත්‍ය සන්නිවේදනය තමයි ප්‍රබල වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමන්ලාටත් ලොකු අභියෝගයක් තියෙනවා අසත්‍ය සන්නිවේදනය පරයා ඉදිරියට යන්න. ඒ නිසා අද වාගේ කාලයක මේ වාගේ එකමුතුවක ලොකු වටිනාකමක් තියෙනවා. විශේෂයෙන්ම අප අගය කරනවා ඔබතුමන්ලා මේ වාගේ සංවිධානයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන්. තනි තනිවම මුහුණ දෙනවාට වඩා කණ්ඩායම් විදිහට මුහුණ දෙන එක ශක්තිමත්.

මාධ්‍යවේදීන්ට විය යුතු සාධාරණය අපේ රට තුළ ඉෂ්ට වෙලා නැහැ කියලා අප නිහතමානීව පිළිගන්නවා. අපේ රටේ පසුගිය කාලේ තිබූ ආර්ථික කඩා වැටීම නිසා අපට යම් යම් කාරණා ඉටු කරන්න බැරි වුණත් දැන් එය පහව යන නිසා අපට පුළුවන් වෙයි ඔබතුමන්ලාගේ රක්ෂණ ආවරණය නැවත ලබා දෙන්න යම් වැඩපිළිවෙළක් කරන්න.

වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය,

කැමරාවක් නැති වුණාට මමත් වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ප්‍රධාන පුවත්පතකට වැඩිම කාලයක් තීරු ලිපියක් ලිව්වා. ඒ නිසා ඔබලා මට ඉතා සමීපයි. ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මේ වාගේ කාලයක අතිදැවැන්තයි. අප වැටුණු තැනකින් නැඟිටින රටක්. වැටුණු රටක ධනාත්මක සිතුවිල් ජනතාවට ගෙනයන්න ඉන්නේ ඔබතුමන්ලා තමයි. ධනාත්මක සිතුවිලිවල තියෙන වාණිජ තත්ත්වය අඩුයි. අප හැම වෙලාවෙම පුරුදු වෙලා ඉන්නේ පත්තරය ගත්ත ගමන් ඍණාත්මක දෙයක්. එක තමයි සමාජ ඉල්ලුම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වුණත් එහෙමයි.

මෙම සංවත්සරය වෙනුවෙන් විශේෂ ආරාධිතයන් ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු රජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගි වී සිටියහ.

මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT