Tuesday, May 14, 2024
Home » කරඳගොල්ලඩ නාය යෑම වඩාත් සක්‍රිය අතට ඇල්ල-වැල්ලවාය ප්‍රධාන පාර අවදානමේ – බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන

කරඳගොල්ලඩ නාය යෑම වඩාත් සක්‍රිය අතට ඇල්ල-වැල්ලවාය ප්‍රධාන පාර අවදානමේ – බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන

by sachintha
April 29, 2024 1:54 am 0 comment

ඇල්ල කරඳගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය පහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඊයේ (28) පැවසීය. මේ හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට දැඩි අවදානමක් දිනෙන් දිනම මතු වෙමින් පවතින බවද හෙතෙම කීය.

කරඳගොල්ල 10 කණුව මලිත්තගොල්ල ප්‍රදේශයේ මේ නාය යෑම 2019 වසරේ ආරම්භ වූ බවත්, මේ වන විටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉවත් කර ඉන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩමක් සොයාගෙන නිවාස තනාගැනීමට අවශ්‍ය මූලික කටයුතු කර ඉදිරි මාස කීපයේ ඔවුන් නැවත පදිංචි කිරිමේ කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතාගේ මැදිහත් වීම මත සිදු කරන බවත් දිස්ත්‍රික් ලේකවරයා පැවසීය.

උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා මේ කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑම සිදු වන බවට ජනතාවගේ මතයක් තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේශණයක් සිදු කර නැති නිසා ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක කර උමා ඔය උමං මාර්ගය සහ මේ නාය යෑම අතර යම්කිසි සම්බන්ධයක් ඇති දැයි සොයා බලන බවත්, එබඳු යම්කිසි දෙයක් පිළිබඳ තොරතුරු අනාවරණය වනවා නම් ඊට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග හා අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සිදු කරන බවත් ඔහු පැවසීය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඔවුන්ගේ භූ විද්‍යාඥයන් සමඟ එක්ව මේ කරඳගොල්ල මලිත්තගොල්ල ගම්මානයට ගොස් පුළුල් පරීක්ෂණයක් කර අපට සවිස්තරාත්මකව වාර්තාවක් දීමෙන් පසු ඉදිරි කරුණු සම්බන්ධයෙන් පැවසීමට හැකි යැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය. දැනට මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑම සිදු වන ස්ථානයේ ඉහළ රැඳී ඇති ජලය ඉවත් කිරීමට කෙටි කාලීන විසඳුමක් ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත අවශ්‍ය මූලික කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ජලදහරා සමග එකතු කර එම ජලය බැස යෑමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සොරණාතොට සමූහ – සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT