Tuesday, May 14, 2024
Home » දරුවාගේ ගෙලට පිහිය තබා ලක්ෂ 7ක රන් කොල්ල කෑ තිදෙනාට වැඩ වරදී

දරුවාගේ ගෙලට පිහිය තබා ලක්ෂ 7ක රන් කොල්ල කෑ තිදෙනාට වැඩ වරදී

by sachintha
April 29, 2024 1:55 am 0 comment

කුඩා ළමයකුගේ ගෙලට පිහියක් තබා මව බියගන්වා, ඔවුන් දෙදෙනා සතුව තිබූ රුපියල් ලක්ෂ 7ක පමණ ස්වර්ණාභරණ මංකොල්ල කෑ තරුණයන් තිදෙනකුව වවුනියාව පොලිසිය පෙරේදා (27) අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ ගමන් බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වවුනියාවේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව හා කුඩා දරුවා බිය ගන්වා මෙම මංකොල්ලය සිදු කොට තිබුණේ මීට සතියකට පමණ ඉහතදීය.

මේ සම්බන්ධයෙන් වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී රන් භාණ්ඩ උකස් තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. ඒ අනුව වවුනියාවේ සිදම්බරපුරම් සහ මදවයිත්තකුලම් යන පළාත්වල තරුණයින් තිදෙනකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් මංකොල්ල කන ලද ස්වර්ණාභරණවල ඉතිරි භාණ්ඩ සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.

මේ තරුණයන් තිදෙනා එදින මංකොල්ලය සිදු කිරීමට පැමිණි යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම යතුරුපැදියද ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරුපැදියක් බවට පොලිසියට සැක පහළ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකටයුතු තරුණයන් තිදෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT