Home » වරකාගොඩ කරන්නාගොඩ එකම මළ ගෙයක් වෙයි කසිප්පු පානයෙන් පසු තිදෙනෙක් මියයති

වරකාගොඩ කරන්නාගොඩ එකම මළ ගෙයක් වෙයි කසිප්පු පානයෙන් පසු තිදෙනෙක් මියයති

by sachintha
April 29, 2024 1:55 am 0 comment

නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් වරකාගොඩ කරන්නාගොඩ ගම්මානයේ පදිංචි තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් අසාධ්‍යව රෝහල්ගතව සිටිති.

මේ සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ මෙම මරණවලින් දෙකක් සිදුව ඇත්තේ හෘදයාබාධයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවී ඇති බැවින් හා තුන්වැනි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙන බැවින් මෙම මරණ නීති විරෝධි මත්පැන් හේතුවෙන් සිදුව ඇතැයි පැවැසීය නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වෙන්නේ දැයි ඊයේ සවස වරකාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකථනට ඇමතුමක් ගෙන කළ විමසීමේ දී දුරකථනයට ප්‍රතිචාර දැක්වූ ස්ථානාධිපතිවරයා නොවන බව කී නිලධාරියකු සඳහන්කර සිටියේ මත්පැන්වලින් මරණ සිදුව ඇතැයි තහවුරු නොවන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමක් සිදු නොවන බවය.

වරකාගොඩ පොලිස් වසමේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත එකම මත්පැන් ජාවාරම්කරුවකුගේ මත්පැන් පානය කිරීමකින් අනතුරුව මෙසේ මියගොස් ඇත්තේ කරන්නාගොඩ, වරකාගොඩ ලිපිනයේ පදිංචි රොෂාන් ඉන්දික පෙරේරා (43) මුතු කුඩ ආරච්චිගේ පද්මසිරි විජය ගුණවර්ධන(69) සහ හොඳමුනිගේ උපුල්(64) යන පුද්ගලයන්ය.

අසාධ්‍යව සිටින දෙදෙනා හොරණ රෝහලේත් පෞද්ගලික රෝහලකත් ප්‍රතිකාර ලබමින් සිටිති. වමනය ඇස් කළුවීම ඇස් නොපෙනී යාම හේතුවෙන් මේ අය එක් අයකු හොරණ මහ රෝහල වෙත රැගෙන ඒමේ දී මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ පෙරේදා (27) උදෑසන නින්දෙන් අවධිවීමෙන් සුළු මොහොතකට පසුවය. රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති පුද්ගලයා පැය එකහාමාරක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බව පොලිසිය කියයි. ඔහු අවුරුදු 64ක් වයසැති හොඳමුනිගේ උපුල්ය.

මියගිය තිදෙනාටත් මේ වන විට රෝහල්ගතව සිටින පුද්ගලයන්ටත් ඇත්තේ එකම රෝගී තත්ත්වයක් බව මියගිය හා රෝහල්ගතව සිටින අයගේ පවුල්වල සාමාජිකයෝ පවසති.

උපුල් නමැති අය 27 වෙනිදා උදෑසන නෑබඩ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව සවස 2.30ට පමණ හොරණ රෝහලට ඇතුළත්කර ඇති බව සඳහන්ය.

මියගොස් ඇති අය අතර සිටින පහළ කරන්නාකොට වරකාගොඩ පදිංචිකරුවෙක් වන පද්මසිරි විජේගුණවර්ධන (69)

පසුගිය 26 වෙනිදා සවස නීති විරෝධී මත්පැන් පානය කර නිවසට පැමිණ ඇති අතර රාත්‍රී ආහාරයද ගෙන නිදාගෙන ඇත. උදෑසන නිවස දෙසින් “මාව බේරගනියෝ” යනුවෙන් කෑ ගසා තිබේ. එම කෑ ගැසීමේ හඬින් අවධිවූ නිවැසියන් ඒ බව එම පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට දන්වා ඇත. ඔහුත් පවුලේ අයත් විමසිලිමත්වීමේ දී පෙනී ගොස් ඇත්තේ ඔහු ඇඳමත මියගොස් ඇති බවය. නිවැසියන් ඔහුගේ සිරුර හොරණ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුගේ බිරිය නිවසේ සිට නැති බව පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන්ව ඇත.

රොෂාන් ඉන්දික පෙරේරා (43) හොරණ ලංගම ඩිපෝවේ ගබඩා පාලකවරයෙකි. විවාහක පුද්ගලයෙක් වන අතර ඔහුටද එම රෝග ලක්ෂණ හා ඊට අමතරව කොන්දේ අමාරූවක්ද තිබී ඇත. ඔහුද 26 දින රාත්‍රී මත්පැන් මිල දී ගෙන පානයකර ඇත්තේ යතුරු පැදියකින් නිවසටම නීති විරෝධී මත් වතුර ප්‍රවාහනය කරන පුද්ගලයකුගෙනි.

දෙදෙනකු සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම මරණ හෘදයාබාධ හේතුවෙන් සිදුවූ මරණ බවය. පෙරේදා (27) සවස මියගිය උපුල් නමැති පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇත.

ගල්පාත – චන්දන ජයලාල්,අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න, පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT