Home » ද. අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියති

ද. අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියති

by sachintha
April 19, 2024 2:32 am 0 comment

ලෝක කාන්තා එක්දින තරගයකදී දැවැන්තම හඹා යෑම ශ්‍රී ලංකාවෙන්

චමරි ලෝකයේ තුන්වැනි ඉහළම ලකුණු ලැබූ පිතිකාරිනියයි

සනත් ජයසූරියගේ ලකුණු 189ක වාර්තාවත් බිඳදමයි

එක්දින තරගයකදී වැඩිම හතරේ පහර වාර්තාවත් චමරිට

හඹා යෑමේදී වැඩිම ලකුණු ලෝක වාර්තාවත් චමරිගේ නමට

කෝලි-මැතිව්ස් වාර්තාව බිඳදැමීමටත් චමරි එක් වෙයි

 

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පෙරේදා නිමාවූ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය කඩුලු 6කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කිරීමට සමත් වූහ. පන්දු 33ක් ඉතිරිව තිබියදී තෙවැනි තරගය ජයගත් චමරි ඇතුළු පිරිවර තරගාවලිය 1-1ක් ලෙස සම කළ අතර එයට පෙර නිමාවූ විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මේ තරගයේදී ලොව කාන්තා එක්දින තරගයකදී ඉහළම සාර්ථක ලකුණු හඹා යෑම ශ්‍රී ලංකා කණ්ඩායම සටහන් කරමින් ලකුණු 302ක් ලැබූ අතර චමරි අතපත්තු කාන්තා එක්දින තරගයකදී ලෝකයේ තුන්වන ඉහළම ලකුණු ලැබූ පිතිකාරිනිය බවට පත්වෙමින් පන්දු 139කදී හයේ පහර 5ක් හා හතරේ පහර 26ක් සමඟ නොදැවී ලකුණු 195ක් වාර්තා කළාය. ඉනිමකදී ලැබූ එම තනි පුද්ගල ලකුණු ගණන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේදී දෙවැනි වන්නේ පැතුම් නිශ්ශංකට පමණි.

වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකදී ලබා තිබූ ලකුණු 189ක වාර්තාවද චමරි අතපත්තු බිඳ හෙළීමට සමත් වූවාය. ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම හතරේ පහර වාර්තාවද චමරි දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී බිඳ දැමූ අතර මෙයට පෙර සනත් ජයසූරිය සාජා පිටියේදී හතරේ පහර 21ක් එල්ල කොට තිබිණි.

චමරි අතපත්තු නොදැවී ලබාගත් ලකුණු 195 කාන්තා එක්දින තරගයකදී හඹා යාමේදී ඕනෑම ක්‍රීඩිකාවක් ලෝකයේ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වූ අතර 2017දී ඔස්ට්‍රේලියාවේ මෙග් ලැනින් එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී නොදැවී ලබාගත් ලකුණු 152 අබිබවා ගියාය.

එමෙන්ම පිරිමි හෝ කාන්තා ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු හඹා යෑමේදී රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක් වූවාය. ඇයට ඉදිරියෙන් ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් සිටින්නේ පසුගිය වසරේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 201කිනි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොඳම සබඳතාව චමරි හා නිලක්ෂි ද සිල්වා එක්ව පන්දු 146කදී ලකුණු 179ක ගොඩනැඟූ නොබිඳුණු සබඳතාවද තවත් වාර්තාවකි.

එක්දින තරගයකදී නායිකාවන් දෙදෙනකු ලකුණු 175ක් පසුකරමින් ලබා ගත් පළමු අවස්ථාව මෙය වූ අතර චමරිට අමතරව දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් රැස් කළාය. ලෝකයේ මෙතෙක් පැවති එක්දින තරගයකදී නායකයන් දෙදෙනකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද චමරි හා ලෝරා එක්ව ලකුණු 379ක් ලබා පිහිටවූ අතර මෙයට පෙර විරාත් කෝලි සහ ඇන්ජලෝ මැතිව්ස් 2014දී රංචිහි පැවති එක්දින තරගයේදී නායකයන් ලෙස ලකුණු 278ක් (දෙදෙනාම නොදැවී ලකුණු 139 බැගින්) ලබා ගත්හ.

මේ තරගයේදී චමරි අතපත්තුට කදිම සහයෝගයක් ලබාදුන් නිලක්ෂි ද සිල්වා පන්දු 71කදී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවාය. ශ්‍රී ලංකාව මීට පෙර කිසි දිනෙක එක්දින තරගයකදී ලකුණු 300ක් ඉක්මවා රැස් කර නොතිබූ අතර එක්දින තරගවලදී චමරි අතපත්තු 9 වැනි ශතකය සම්පූර්ණ කිරීම ද විශේෂත්වයකි.

ලෝක කාන්තා එක්දින පිටියේ ඉහළම ලකුණු

අමීලියා කර්ර් (නවසීලන්තය) 2018දී අයර්ලන්තයට එරෙහිව නොදැවී 232

බෙලින්ඩා ක්ලාක් (ඔස්ට්‍රේලියාව) 1997දී ඩෙන්මාර්කයට එරෙහිව නොදැවී 229

චමරි අතපත්තු (ශ්‍රී ලංකාව) 2024දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී 195

දීප්ති ෂර්මා (ඉන්දියාව) 2017දී අයර්ලන්තයට එරෙහිව 188

ලෝරා වොල්වාඩ් 2024දී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී 184

ලෝක කාන්තා එක්දින පිටියේ සාර්ථකම හඹා යෑම

ශ්‍රී ලංකාව 2024දී (දකුණු අප්‍රිකාවට එරෙහිව) ලකුණු 302

ඔස්ට්‍රේලියාව 2012දී (නවසීලන්තයට එරෙහිව) ලකුණු 289

ඔස්ට්‍රේලියාව 2023දී (ඉන්දියාවට එරෙහිව) ලකුණු 283

නවසීලන්තය 2022දී (ඉන්දියාවට එරෙහිව) ලකුණු 280

ඔස්ට්‍රේලියාව 2022දී (ඉන්දියාවට එරෙහිව) ලකුණු 278

දකුණු අප්‍රිකාව

ලෝරා වොල්වාඩ් නොදැවී 184

ලාරා ගුඩ්ඕල් ඇ.දුලානි ප.දිල්හාරි 31

ඩෙල්මි ටකර් දුවද්දි දැවී ගියා 1

සුනේ ලූස් ක.මු.ක. ප.චමරි 0

මරිසාන් කැප් දුවද්දි දැවී ගියා 36

නාඩින් ඩි ක්ලාක් ඇ.හන්සිමා ප.දිල්හාරි 35

එලිස් මාරි මාක්ස් නොදැවී 9

අතිරේක 5

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 50) 301

කඩුලු බිඳ වැටීම: 1-116, 2-124, 3-124, 4-187, 5-279

පන්දු යැවීම: චමරි 10-0-59-1, සුගන්ධිකා 10-0-53-0, කාවින්දි 4-0-38-0, ඕෂදී 6-0-43-0, රණවීර 10-0-60-0, දිල්හාරි 10-0-47-2.

ශ්‍රී ලංකාව

විශ්මි ගුණරත්න ක.මු.ක. ප.ටකර් 26

චමරි අතපත්තු නොදැවී 195

ප්‍රසාදිනී වීරක්කොඩි ඇ.ටකර් ප.ක්ලාක් 4

හන්සිමා කරුණාරත්න ඇ.ජෆ්ටා ප.කාකා 3

කවීෂා දිල්හාරි ඇ.ජෆ්ටා ප.කාකා 0

නිලක්ෂි ද සිල්වා නොදැවී 50

අතිරේක 27

එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 44.3) 305

කඩුලු බිඳ වැටීම: 1-90, 2-109, 3-126, 4-126

පන්දු යැවීම: කැප් 8-1-44-0, කාකා 8-1-54-2, ක්ලාස් 6-0-41-0, මාක්ස් 3-0-23-0, ක්ලාක් 7.3-0-59-1, ටකර් 5-1- 42-1, ම්ලාබා 7-0-36-0.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT