මහජනතාවගේ විරෝධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් කල් පොලිස් ස්ථාන කීපයක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය හංවැල්ල, දිද්දෙණිය ගම්මානයේ ස්ථාපිත කිරීම සඳහා සීතාවක සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුමත කළ නොහැකි බව පවසමිනි.
ජනතාව ජීවත් වන ප්‍රදේශ තුළ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් හා කැලඹීමක් ඇති විය හැකි බැවින් එවැනි කටයුතුවලට දායක නොවිය යුතු බවද අගමැතිවරයා කීවේය.
එමෙන්ම අවිස්සාවේල්ල නව නගර ජල යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නංවමින් නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් දිය යුතු බවද අගමැතිවරයා පැවසීය. ජනතාව ඉදිරිපත් කරන සාධාරණ කරුණු පිළිබඳ සවන්දීමේ වගකීම මහජන නියෝජිතයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඇති බවද අගමැතිවරයා අවධාරණය කළේය.
සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවිස්සාවේල්ල සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ හා රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.