Home » අරගල ක්‍රියාකාරිකයාගේ නි‍ෙවසේ හිටපු ඇමැතිගේ ඥාතියාට අයත් බැංකු පොත් සහ චෙක් පොත්

අරගල ක්‍රියාකාරිකයාගේ නි‍ෙවසේ හිටපු ඇමැතිගේ ඥාතියාට අයත් බැංකු පොත් සහ චෙක් පොත්

by sachintha
April 22, 2024 3:56 am 0 comment

මත්කරල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ මඩපාත, පොල්හේන නිවෙස පරීක්ෂා කිරීමේදී හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ හා යාබද ඥාති නිවෙස ගිනි තබා විනාශ කර, දේපළ කොල්ලකෑ කණ්ඩායමේ සාමාජිකයෙක් බවට අනාවරණය වූ බව කැස්බෑව පොලිසිය පවසයි.

එම පුද්ගලයාගේ නිවෙස තුළ තිබී එම ඥාති නිවෙසින් කොල්ලකන ලද චෙක් පොත් 3ක්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවවලට අයත් ඉතිරි කිරීමේ ගිණුම් පොත් 4ක්, ගංජා පැකට් කිරීම සඳහා භාවිත කරන ඉටිකොළ රෝලක්, ඥාති දියණියට අයත් හැඳුනුම්පතක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මඩපාත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී පොල්හේන ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටි සැකකරු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ බෑගයේ තිබී මත්කරල් තොගය හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරු පදිංචි පොල්හේන නිවෙස පරික්ෂා කිරීමේදී ඔහුගේ කාමරය තුළ ඉටි බෑගයක දමා තිබූ චෙක් පොත් සහ ඉතිරි කිරීමේ බැංකු පොත් පරික්ෂා කිරීමේදී විශාල වශයෙන් මුදල් හුවමාරු වී තිබීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සැකය මත සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු අරගල ක්‍රියාකාරිකයකු බවත් ඉකුත් අරගල සමයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවෙසට මෙන්ම ඊට යාබද ඔහුගේ ඥාති නිවෙසට ගිනි තබා දේපළ කොල්ලකෑ සාමාජිකයකු බවට වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු අමාත්‍යවරයාගේ නිවෙස සහ ඥාති නිවෙස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 23 වැනි සැකකරු බවත් පොලිසිය පැවැසීය. 25 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් (75769) ජයතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන (28284) මධුමාල් හා (103937) රණසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT