Home » පෝදා දම් දෙසුම

පෝදා දම් දෙසුම

by sachintha
April 23, 2024 1:46 am 0 comment

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේතත්ත්ව සහතිකකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහකච්චකොඩියේ පඤ්ඤාසේර හිමි

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු ලෝවැසියන්ට සාමය සතුට සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි මේ උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනයේ මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි.)

සිංහල ලිත් ක්‍රමයට අනුව බක් පෝය උදා වූ වසරේ පළමු පොහෝ දිනය වේ. එම නිසාම ශ්‍රී ලාංකිකයන්ට බක් පෝය ඉතා වැදගත් පොහෝ දිනයක් ලෙසින් සැලකේ. විශේෂයෙන් ම අලුත් සහල්වලින් කිරි ආහාර පූජාවන් සිදුකරන පොහෝ දිනය ලෙසින් අද දවසේ කෘෂිකර්මාන්තයේ නිරතවන සැදැහැවත්හු ශ්‍රද්ධාවෙන් යුක්තව පුද පූජාවන් පවත්වති. එමෙන්ම බක් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියක් සිදුවුණු පොහෝ දිනයක් ලෙසින් ද හඳුනාගත හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිව නාගදීපයට වැඩම කරන්නට යෙදුනේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනයක ය.

චුල්ලෝදර මහෝදර නාග ගෝත්‍රිකයන් අතර ඇතිවන්ට ගිය යුද්ධය නිරාකරණය කිරීම මෙම වැඩම වීමේ අරමුණ විය. එම අවස්ථාවේ යුද්ධයේ නිස්සාරත්වය පසක් කරවන්න චන්දන ජාතකය හා කාකෝලුක ජාතකය ඔවුන්

අරභයා දේශනා කළහ. දේශනාව අවසානයේ බොහෝ දෙනා ආර්ය මාර්ගයට බැසගනිමින් සංසාර දුකින් අත්මිදෙන්නට විය. යුද්ධයකින් ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැති බව බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයෙන් ලෝකවාසීන්ට පසක් කරදී ඇති ඒ උදාර දේශනය නූතන ලෝකයට අත්‍යයන්තයෙන් ම ගැළපෙන්නේය.

මේ ගතවන මොහොත වන විටත් ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් ඇති කරගෙන ඇති යුද තත්ත්වය ලෝවාසීන් සියලු දෙනා භීතියටත් පීඩාවටත් වේදනාවටත් පත් කර තිබේ.

එවන් පරිසරයක ජීවත්වන අප සැවෝම මේ උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ විසින් අප හට දේශනා කළ ඒ උතුම් අනුශාසනාව ලෝකයා වෙත බෙදා දෙමින් මිහිතලයට සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT