Home » නෙට්බෝල් මුල් පුටු තරගයට හිටපු ක්‍රීඩිකාවක් එයි – සභාපති තනතුරට තුන්කොන් සටනක්

නෙට්බෝල් මුල් පුටු තරගයට හිටපු ක්‍රීඩිකාවක් එයි – සභාපති තනතුරට තුන්කොන් සටනක්

by sachintha
April 23, 2024 2:14 am 0 comment

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති තනතුරට තුන්කොන් සටනක් නිර්මාණය වෙයි. මෙයට වසර ගණනාවකට පෙර නෙට්බෝල් සංගමයේ හිටපු සභාපතිනියක් වූ හිටපු ක්‍රීඩිකා තමාරා ධර්මකීර්ති හේරත් හා වත්මන් සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය අතර ප්‍රධාන සටන නිර්මාණය වී තිබේ. වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියගේ නාමයෝජනාවට යම් විරෝධතාවක් මතුවී ගැටලුවක් ඇති වුවහොත්, සභාපති සටනට ඔලිවියා ගමගේ මහත්මිය ඉදිරියට ගැනීමේ අදහසින් ඇයගේ නාමයෝජනාව ලබාදී ඇති හෙයින් ප්‍රධාන තනතුරට නාමයෝජනා තුනක් ලැබී ඇත. ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන අතර, නාමයෝජනා භාර ගැනීම ඊයේ සිදු කෙරුණි.

මෙයට වසර ගණනාවකට පෙර නෙට්බෝල් සභාපති ලෙස කටයුතු කළ තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය 1997 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවක් බැවින් මෙවර බොහෝ දෙනකුගේ ඉල්ලීම අනුව තරගයට ඉදිරිපත්වූ බව සඳහන් කළාය. ඇයගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාවට ආසියානු ශූරතාව ඇතුළු අන්තර්ජාතික නෙට්බෝල් ජයග්‍රහණ රැසක් හිමිවූ අතර, පසු කාලීනව ක්‍රීඩා ඇමැතිවරු කිහිපදෙනකුම තමාරා ධර්මකීර්ති මහත්මිය නෙට්බෝල් අතුරුපාලන කමිටු සභාපති තනතුරට ද පත් කළාය.

අවස්ථා දෙකකදීම නෙට්බෝල් සභාපතිනිය ලෙස කටයුතු කළ වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියගේ සභාපති කාලයේදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, ඔලිවියා ගමගේ මහත්මිය නෙට්බෝල් විනිසුරු සංගමයේ සභාපතිනිය හා තරගාවලි කමිටු ප්‍රධානියා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරිය ලෙසත් කටයුතු කළාය.

මෙවර නෙට්බෝල් නිලවරණයේ ලේකම් තනතුරට සංජීවනී වනසිංහ හා රේනුකා කුරුප්පු යන මහත්මීන් නාමයෝජනා ලබාදී ඇති අතර, භාණ්ඩාගාරික තනතුරට ජයන්ති ජයසූරිය හා පත්මිණී හොරණගේ අතර සටනක් පවතී.

නියෝජ්‍ය සභාපති තනතුරට වජිරා නෙත්තිකුමාර හා චම්පා රංජනී, උප සභාපති තනතුරු 4ක් වෙනුවෙන් තමාරා ධර්මකීර්ති පාර්ශ්වයෙන් කේ. එම්. පී. කුමාරිහාමි, එස්. සුරන්තනී, තනූජා දිසානායක හා කුමුදුනී ගෝමස් නාමයෝජනා ලබාදී ඇත. වික්ටෝරියා පාර්ශ්වයෙන් ශිරෝමි කුරුප්පු, චම්පා ගුණවර්ධන, ටී.ආර්.ජී. ලියනගේ හා රංජනා ක්‍රිස්ටලීන් යන මහත්මීන් නාමයෝජනා ලබාදී ඇත.සහකාර ලේකම් තනතුරට ශ්‍යාමා කුරේ හා අයි.පී.ටී.එච්. ගුණවර්ධන යන මහත්මීන්, සහකාර භාණ්ඩාගාරික බී. සුමිත්‍රා හා බී. ඒ. කේ. නිමාලි යන මහත්මීන්, තරගාවලි ලේකම් තනතුරට එච්. ජී. එම්. පෙරේරා හා සුවන්ජි පීරිස් යන මහත්මීන් තරග කරති.

පැවැති සෑම නිලවරණයකදීම සභාපති තනතුරට ඉදිරිපත්වූ ට්‍රික්සි නානායක්කාර මහත්මිය මෙවර ඉදිරිපත්වී නැති අතර, ඇයගේ සහයෝගය තමාරා ධර්මකීර්ති මහත්මියට ලබාදෙන බව ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එමෙන්ම හිටපු ලේකම්වරියෙකු වූ යැස්මින් ධර්මරත්න මහත්මිය ද එම ස්ථාවරයේම බව සඳහන්කොට තිබේ.

නෙට්බෝල් සම්මේලනයේ ලියාපදිංචි ඡන්ද හිමි සංගම් 32කට ඡන්ද බලය හිමි කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන ඇති අතර, නාමයෝජනා විරෝධතා මේ මස 26 වැනිදා පසුවරු 4 දක්වා භාර ගැනීමට කටයුතු යොදා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT