Home » චමරි ප්‍රමුඛ පිරිවරට කෝටි එකහමාරක බෝනස් – සියල්ලන්ගේ වැටුපත් වැඩි කරලා

චමරි ප්‍රමුඛ පිරිවරට කෝටි එකහමාරක බෝනස් – සියල්ලන්ගේ වැටුපත් වැඩි කරලා

by sachintha
April 23, 2024 2:13 am 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් එම ක්‍රීඩිකාවන් දිරිගැන්වීම උදෙසා රුපියල් කෝටි එකහමාරක (ඇමරිකානු ඩොලර් 50000ක) පමණ වටිනා මූල්‍ය ප්‍රදානයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ලබන මස මුල් සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම මුදල සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ‘දිනමිණ‘ට පැවැසීය. අවම වශයෙන් රුපියල් කෝටි එකහමාරක (ඇමරිකානු ඩොලර් 50000ක) පමණ මූල්‍ය ප්‍රදානයක් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

එයට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදල විශාල වශයෙන් වැඩිකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් දිරි ගැන්වීමට තව තවත් ප්‍රදානයන් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවැසීය. “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සතුට පළ කරනවා. ඔවුන් දිරි ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිතුමා ප්‍රමුඛ විධායක කමිටුව අවධානය යොමු කොට තිබෙනවා. අපි කිසිම වෙලාවක තනි තීරණ ගන්නේ නෑ. ඒ නිසා විධායක කමිටු රැස්වීමට මෙම දීමනා ප්‍රදානය යොමු කරන්න සිදු වෙනවා. විධායක කමිටු අනුමැතිය අවශ්‍යයි“ කපුවත්ත මහතා පැවැසීය. නිමාවූ දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කිරීමට සමත් වූහ. ලෝක එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 3 වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කළ අතර, විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ සමත් වූහ. ලොව කාන්තා එක්දින තරගයකදී ඉහළම සාර්ථක ලකුණු හඹායාම ශ්‍රී ලංකා කණ්ඩායම සටහන් කරමින් ලකුණු 302ක් ලැබූ අතර, චමරි අතපත්තු කාන්තා එක්දින තරගයකදී ලෝකයේ තුන්වන ඉහළම ලකුණු ලැබූ පිතිකාරිනිය බවට පත්වෙමින් පන්දු 139කදී හයේ පහර 5ක් හා හතරේ පහර 26ක් සමඟ නොදැවී ලකුණු 195ක් වාර්තා කළාය. ඉනිමකදී ලැබූ එම තනි පුද්ගල ලකුණු ගණන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේදී දෙවැනි වන්නේ පැතුම් නිශ්ශංකට පමණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ගෙවුණු මාස 10ක කාලය තුළ එක්දින තරගවලදී එංගලන්තය, නවසීලන්තය, බංග්ලාදේශය පරාජය කළ අතර, විස්සයි20 තරගවලදී එංගලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකා යන ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගීවීම උදෙසා අබුඩාබි වෙත පැමිණ සිටින අතර, එහි පළමු තරගය මේ 25 වැනිදා ටොලරන්ස් ඕවල් පිටියේදී තායිලන්තය සමඟ පැවැත්වීමට නියමිතය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT