Home » රෙදි වෙළෙඳාම් කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය විකුණූ කතක් හා අයෙක් අයිස් සහ හෙරොයින් සමඟ මාට්ටු

රෙදි වෙළෙඳාම් කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය විකුණූ කතක් හා අයෙක් අයිස් සහ හෙරොයින් සමඟ මාට්ටු

by sachintha
April 23, 2024 2:16 am 0 comment

වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු නියෝගයක් මත අප්‍රේල් මස 19 වන දින සිට 21 වන දින දක්වා පැය 48ක කාලයක් තුළ සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලීම හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී ප්‍රදේශයන් දෙකකදී හෙරොයින් මිලිග්‍රෑම් 3,430ක් සමඟ කාන්තාවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 711 මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් ත්‍රිරෝද රථය ද සමඟ පිරිමි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලීම හා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම කොට්ඨාසය පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සන්තකයේ තිබූ මෙත් ඇමපිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත් කාන්තාව සන්තකයේ තිබූ හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂයකට පමණ ආසන්න බවත් පොලිසිය පැවසීය.

කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් ලක්ෂ 26 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් එම මුදල ඇයගෙන් කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලැබූ ආදායම් මුදල් බවට තහවුරු කරගත් බවත් පොලිසිය පැවසීය.

සැකකාර කාන්තාව රැකියාව වශයෙන් රෙදි පිළි වෙළෙඳාමේ යෙදෙන බවට පවසමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවත් අත්අඩංගුවට පත් සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වශයෙන් රැකියාව සිදු කරමින් අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ නියැළී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව (62) වන වියේ පසුවන කොළඹ 08, බොරැල්ල, මැගසින් පාර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් සැකකාර පුද්ගලයා කොළඹ 13, මහාවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බවත් මෙම පුද්ගලයා දැනට ක්‍රිස්තුරාජ මාවත, හේකිත්ත, වත්තල ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක නැවතී සිට මෙම ජාවාරමේ නියැළී ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

සැකකාරියට හා සැකකරුට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන්නේ කාගෙන්ද යන්න පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකර අදාළ ජාවාරමේ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් හා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලබාදී ඇති නාම ලේඛනයට පරිබාහිරව මෙම සැකකාරිය සහ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති බවට සියලු තොරතුරු තහවුරු කරගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය (22) සවස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හා විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක හේෂාන්, උප පොලිස් පරීක්ෂක ලක්මාල් ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබති.

සමීර අබේසිංහ නුගේගොඩ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT