Home » අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි කොඩිතුවක්කු මානසික රෝගියෙක්

අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි කොඩිතුවක්කු මානසික රෝගියෙක්

මානසික විශේෂඥයන් වාර්තාවක් ගොනු කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් කියයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අවලෝකීතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටිමින් විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මහින්ද කොඩිතුවක්කු නමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික විශේෂඥයන් විසින් වාර්තාවක් ගොනු කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (24) දන්වා සිටියේය. එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ලබන ජුනි මස 19 වැනිදා අධිකරණයට දන්වා සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

තම සේවාදායකයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට තහවුරු වී ඇති බැවින් ඔහු මේ සිද්ධියෙන් මුදා හරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය .අවලෝකීතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි පුද්ගලයාට අනුගාමිකයන් වැඳ නමස්කාර තිබෙනවා යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටි අතර ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් සිටින බවත් දන්වා සිටියේය.

පන්නිපිටිය වීර මාව‍ෙත් පිහිටි කුලී නිවසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇප මත මුදා හැර ඇති සැකකරු නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.

සැකකරුට 2016 වසරේදී විශේෂ ඥානයක් ලැබුණු බව කියමින් ලංකාව පරිහානියට ලක්වීම නිසා මෙරටට පැමිණි බවට දේශනා කර තිබූ අතර එහෙත් වීසා නැතිව ඊජිප්තුවෙන් පිටුවහල් කර ඇති බවට වැඩිදුර වාර්තාවේ ඉදිරිපත් කර ඇත. සැකකරුගේ දේශනා සඳහා යූ ටියුබ් නාළිකා 5ක් භාවිත කර තිබෙන බවද මොහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනෙක් සිටින බව ද අගසව්වරුන් දෙදෙනෙක් සිටින බවද කියා තිබේ. එක් අයෙක් පුණ්‍යසිරි නමැති පොලිස් සැරයන්වරයකු ද තවත් දෙදෙනෙක් වෛද්‍යවරුන් ද වන අතර ඔස්ට්‍රේලියාවේ පදිංචි අයෙකුත් සිටින බවත් අනුගාමිකයන් 300ක් සිටින බවට විමර්ශන සිදු කර ඇති බවටත් වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.

සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය අගුළුගල්ලේ සිරි ජනානන්ද හිමියන් සහ බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලි වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කන ලද අතර පසුගිය ජනවාරි මස 10 වැනිදා ලැබුණු පැමිණිලිවලට අනුව තාලිගල, බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කානම්ලාගේ මහින්ද කොඩිතුවක්කු යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්තිප්‍රකාරව චෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් මගින් දක්වා ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT