Home » ශ්‍රීලනිප තනතුරුවලින් තුන්දෙනකු ඉවත් කිරීම වළකන වාරණය තව දිගු කරයි

ශ්‍රීලනිප තනතුරුවලින් තුන්දෙනකු ඉවත් කිරීම වළකන වාරණය තව දිගු කරයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දරන තනතුරුවලින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන මැයි 08 දා දක්වා දීර්ඝ කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විරෝධතා එදින ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට ඊයේ දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ සභා වාරයකට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනා සම්මතයකට අනුව මහින්ද අමරවීර මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයෙන් ද, දුමින්ද දිසානායක මහතා ජාතික සංවිධායක ධුරයෙන් ද, ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාරික ධුරයෙන් ද නෙරපනු ලැබූහ. එම තිදෙනා ඉවත් කර එම තනතුරුවලට හිටපු මහ ඇමැති සරත් ඒකනායක, මහියංගණ ආසන සංවිධායක කේ. පී. ගුණවර්ධන හා හිටපු පළාත් සභා ඇමැති හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් පත්කර තිබේ.

එම තීරණය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකරුවන් මෛත්‍රීපාල සිරිසේන, දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, කේ.පී. ගුණවර්ධන යන වගඋත්තරකරුවන්ට එරෙහිව සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ 16 වැනි වගන්තිය යටතේ නඩු පවරා ඇත.

1 සිට 4 දක්වා වගඋත්තරකරුවන්ට ඔවුන් පක්ෂයේ දරන තනතුරු යටතේ නියෝජිත පදනමින් නඩු පවරා ඇති අතර එයට අමතරව මෛත්‍රීපාල සිරිසේන හා සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුන්ට එරෙහිව පුද්ගලිකව ද නඩු පැවරීම සිදුකර තිබේ. පැමිණිලිකරුවන් සිය පෙත්සම මඟින් ඉවත් කිරීම සිදු කළ මාර්තු 30දා කෘත්‍යාධිකාරී රැස්වීම කැඳවීම සාමාන්‍ය ලිපි ශිර්ෂය යටතේ සිදුව නොමැති බවත් හා පක්ෂ ව්‍යවස්ථාව අනුව එවැනි විශේෂ රැස්වීම් පැවැත්වීමට බලය නොමැති බව ප්‍රකාශ කර සිටී. අදාළ රැස්වීමේ අරමුණක් නොදක්වා තිබිම එහිදී ප්‍රකාශ කළ තීරණ ගත් තැනැත්තන් හෙළිකර නොතිබීම නඩු නිමිති ලෙස දක්වා තිබේ. 1 වැනි වගඋත්තරකරු වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයෙහි එදිරිවාදී මතවාද හා පුද්ගලික අමනාපකම් දරන්නකු බව හා බලය අනීතික ලෙස භාවිත කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ප්‍රකාශව ඇති බවත් පැමිණිලිකරුවන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රශංසාවට ලක්කිරීම තනතුරුවලින් නෙරපීමට බලපා ඇති බවත් පෙත්සමේ දක්වා ඇත.

ඒ අනුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිම සඳහා වන පැමිණිලිකරුවන්ගේ ඉල්ලීම අසා නිමවන තෙක් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරුවන් නීතිඥ දිලිප් ප්‍රනාන්දු, නීතිඥ අමින්ද දිසානායක සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සහ සජන ද සොයිසා සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින ලදී.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT