ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය,එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දී ඇත.
මේ ප්‍රතිපාදන යොදවමින් මඩකලපුව,මුලතිව්,අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් ක්‍රියාත්මක වන කුඩා අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීම,අභිජනන සහ මත්ස්‍ය පැටවුන් ඇති කිරීමේ හැකියාව වැඩි කිරීම සඳහා NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන හතරක් සහ ප්‍රජාව විසින් මෙහෙයවන මත්ස්‍ය අභිජනනාගාරයක් වැඩි දියුණු කිරීම,තෝරාගත් ජලාශවල මත්ස්‍ය පැටවුන් ගහණය වර්ධනය කිරීම සිදු කෙරේ.එමෙන්ම අභිජනනාගාරවල මව් හා පිය මත්ස්‍ය ගහණය වැඩි කිරීම,ධීවර ප්‍රජාව අතර කූඩුවල මසුන් ඇති කිරීම ප්‍රවර්ධනය හා ප්‍රජාවගේ ජීවනෝපාය හැකියා සංවර්ධනය කිරීම මගින් ආහාර හා පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සහ ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීමට ද මේ මුදල් වැය කෙරෙනු ඇත.
මේ ව්‍යාපෘති සඳහා වූ ලේඛන අත්සන් කිරීමේ උත්සවය ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා,ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි,ශ්‍රී ලංකා-එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ, ශ්‍රී ලංකාවේ FAO නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහත්වරුන් සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.එන්.කුමාරි සෝමරත්න මහත්මිය ඇතුළු පිරිසක් ප්‍රධානත්වයෙන් කොළඹ 07, එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ වසරක ව්‍යාපෘතිය මගින් NAQDA වෙත සජීවී මත්ස්‍ය ප්‍රවාහන ට්‍රක් රථ 3ක් සපයයි. මිරිදිය ධීවර කර්මාන්තයට ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය, කළමනාකරණය, සැකසීම සහ අගය එකතු කිරීමේදී නිලධාරීන්ගේ සහ ධීවරයන්ගේ තාක්ෂණික හැකියාව ඉහළ නැංවීම ද සිදු කෙරේ.දේශීය හා විදේශීය විශේෂඥවරුන් මගින් Òස්වයං වගාපාදක මිරිදිය ධීවර කර්මාන්තයÓ ස්ථාපිත කිරීමට අවශ්‍ය විවිධ ක්ෂේත්රයන්ගේ තාක්ෂණික දැනුම ලබාදීම කිරීම සහ මත්ස්‍ය අභිජනන,වගාව සහ කළමනාකරණයට අවශ්‍ය කරන සියලුම උපකරණ මේ ව්‍යාපෘතිය හරහා ලබාදීමට සැලසුම් කර ඇත.
මෙහිදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර අංශයට ඉතිහාසය පුරාම රාජ්‍යයන්හි සහාය ලැබී ඇති අතර, එමගින් ජාතියේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දී ඇති බවයි.මෑතකාලීන මූල්‍ය අභියෝග හේතුවෙන් ක්ෂේත්රයට අවශ්‍ය සම්පත් අහිමි වී ඇති අතර, මිරිදිය ධීවර ප්‍රජාවන් සහ ග්‍රාමීය ජනතාව අතර දුෂ්කරතා උග්‍ර වී ඇතැයි ද ඇමැතිවරයා කීය. මේ ව්‍යාපෘතිය අදාළ ක්ෂේත්රය පුනර්ජීවනය කිරීමට සහ සම්බන්ධ වූ සියලුම පාර්ශ්වකරුවන්ට තිරසාර ප්රතිලාභ සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බවද ඒ මහතා පැවසීය.
මේ ව්‍යාපෘතිය මගින් දළ වශයෙන් මිරිදිය ධීවරයින් 3,000 කට, කුඩා අභිජනන මෙහෙයුම්වල යෙදී සිටින ගොවීන් 40 දෙනෙකුට සහ මත්ස්‍ය ආහාර සැකසීමේ විශේෂඥ ගොවීන් 20 දෙනෙකුට සෘජුව සහාය දැක්වීමට අරමුණු කරයි. එපමණක් නොව, පවුලේ සාමාජිකයන්, පාරිභෝගිකයින්, කරවල නිෂ්පාදකයින් සහ පර්යේෂණ සහ ශාස්ත්‍රීය අංශයේ පාර්ශවකරුවන් ඇතුළු වක්‍ර ප්‍රතිලාභීන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ද එමගින් අපේක්ෂා කෙරෙන බවද දේවානන්දා මහතා කීය.
ජපන් තානාපති මිසුකොෂි මහතා –
“ජපානය සහ ශ්‍රී ලංකාව සිය ආර්ථිකයන් සහ සංස්කෘතීන් තුළ ධීවර කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව ගැඹුරින් මුල් බැසගත් අගය කිරීමක් බෙදාහදා ගන්නවා.මේ හවුල් වැදගත්කම හඳුනා ගනිමින් ජපානය 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට,සමුද්‍රිය ක්ෂේත්රයට සහාය දැක්වීමට කැප වී සිටිනවා.අපගේ අඛණ්ඩ උත්සාහයට සමගාමීව මේ නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ ජපානය ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය ශක්තිමත් කිරීමටත්,එමගින් ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමටත් කැප වෙනවා.
ඡායාරූපය- රුක්මාල් ගමගේ
බුද්ධිකා ඉඹුලාන