මොළයේ උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී පුද්ගලයකු පෙරේදා(25) මියයෑමත් සමඟ උතුරේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේදී මොළේ උණ රෝගය වැලදී මියගිය පුද්ගලයා මන්නාරමේ පදිංචිකරුවෙකි. ඔහුට උණ රෝගය වැලදීමෙන් පසු මන්නාරම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එම රෝගය සුව නොවීම නිසා ඔහු යළි මන්නාරම රෝහලට ඇතුළත් වී ඇත.
එහිදී රෝගය උත්සන්න වීමෙන් පසු රෝගියා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයේ ජෝන් ද්රාවියම් කුමාරසෙන් නැමති මේ පුද්ගලයා මොළේ උණ රෝගයෙන් මියයෑමත් සමඟ මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීන් ඔහුගේ ගමන් ඉතිහාසය හා පවුලේ තොරතුරු විමසීමේ මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔහුට එම රෝගය වැලදුණු ආකාරය සෙවීමට වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මොළේ උණ රෝගියකු උතුරු පළාතෙන් හමු වී ඇත්තේ වසර ගණනාවකට පසුව හෙයින් මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.