පාස්කුදා ප්‍රහාර ගැන පරීක්ෂණ පවත්වා අවසන් කළ යුතුයි – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
මැතිවරණයක් ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම යන කරුණ මත නොපිහිටා සත්‍ය සෙවීම පදනම් කර ගනිමින් පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවසන් කළ යුතු යැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසීය.
පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසීය.
කල්තබන අවස්ථාවේ යෝජනා ගණනාවක් පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ සිද්ධිය සිදු වූ දින සිට කල්තබන යෝජනා හා අනෙකුත් යෝජනා, කතා කළ වාර ගණන් සහ 2019.04.23 වැනිදා සිට අද දක්වා අදාළ වෙළුම්, කාණ්ඩ, මන්ත්‍රීවරුන්ගේ නම් ගම් සහිතව ඉදිරිපත් කළ හැකියි. මේ සිද්ධියට අදාළව වසර පහ තුළදී මේ ගැන කොච්චර කතා කර තිබෙනවාද. මේ සිද්ධියට ප්‍රහාරකරුවන් 9ක් සම්බන්ධ වෙලා තිබෙනවා.
1983 සිට ත්‍රස්තවාදය අවසන් කරන තෙක් තිබූ මැතිවරණවල ප්‍රධාන සාධකය වුණේ ත්‍රස්තවාදය. ඒ ඉතිහාසය බොහෝ අයට අමතකයි. එය පදනම් කරගෙන මැතිවරණ ජය ගත්තා. 2015 වසරේ එය අදාළ වුණේ නැහැ. 2019 වසරේදී මේ ඇති වූ බෝම්බ සිද්ධිය සමඟ ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵල තීන්දු වුණා. ඊළඟ මැතිවරණයටත් ඒකම තමයි බලපාන්නේ කියලා තමයි මේ විවාදවලින් කියන්න හදන්නේ. අපි මහජන නියෝජිතයන් විදියට මේ කරුණු පිළිබඳ සංවේදීයි. ඒ වගේම ආගමික නායකයිනුත් මේ ගැන සංවේදීයි.
පාස්කුදා ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ සිටි ආරක්ෂක ලේකම්වරයා කියනවා ගහන බව දන්නවා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ආරක්ෂක ලේකම්වරයා ඒ බව දැන සිටියා නම් එවකට සිටි විධායකය මේ සිද්ධිය නොදැන සිටීමට හේතුවක් නැහැනේ.
විදේශිකයන් පවා මේ සිද්ධියේදී මරණයට පත් වුණා. විදේශිකයන් 45ක් මරණයට පත් වුණා. පැය 24ක් තුළදී මෙරට සිටි සියලු විදේශිකයන් රටින් පිටව ගියා. වසර ගණනාවක් තිස්සේ එය අපේ සංචාරක කර්මාන්තයට බලපෑවා.
****
අපරාධ මර්දනය කර නීතිය – සාමය ස්ථාපිත කරන්න පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍යයි – මන්ත්‍රී පාඨලී චම්පික රණවක
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
පාඨලි චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විවාදයට ඊයේ (26) එක් වෙමිනි.
ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි. දේශපාලන බලපෑම්වලින් ඒවා මුදා ගැනීම අත්‍යවශ්‍යයි.
වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව ඇති අතර පොලිස් ඇමැතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකරයි. ඒ නිසා ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතුයි.
දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක වෙනවා. මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වන අතර එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතුයි.
ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටලු පාස්කු ප්‍රහාරයට සාධක වී ඇති අතර ලද තොරතුරු හෙළි නොකිරීම ද ගැටලුවක්. බව හෙතෙම පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇතැම් නිර්දේශ ද මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිසම ද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඒවා ක්‍රියාත්මක නොවීමද ගැටලු සහගතයි.
****
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශන කරන්න අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නැහැ – මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට ඊයේ (26) එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
මෙම විමර්ශන සිදු කිරීම වෙනුවෙන් පත්කර සිටි නිලධාරින් සියලු දෙනා මේ වනවිට ඉවත් කර වෙනත් පිරිසක් පත් කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මරණ විශාල ප්‍රමාණයක් සිදු වුණා. විශාල පිරිසක් වින්දිතයින් බවට පත් වුණා. මේ සම්බන්ධයෙන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්වුණා. නිලධාරින් විශාල පිරිසක් විමර්ශන කළා. ඒ සියලු දෙනා විමර්ශනවලින් ඉවත් කළා. කිංස්බරි සිදුවීමේ විමර්ශන නිලධාරියා, කොච්චිකඩේ පල්ලියේ විමර්ශන නිලධාරියා, මේ සියලු දෙනා ඉවත් කළා. මේ ආණ්ඩුව ආපු ගමන් ඒ අයට අවශ්‍ය පිරිසක් පත්කළා. ආණ්ඩුවට අවශ්‍ය මේ විමර්ශන වසන් කිරීමටයි.
2019 මැතිවරණය එනකොට උතුරු නැඟෙනහිර ඡන්ද ටික ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන්නෙ නැති බව දන්නවා. එහෙමනම් කතෝලික ඡන්ද ටික නතර කරන්න ඕන නිසයි මේ ප්‍රහාරය සිදු කරන්නේ. ඒ වගේම මේ විමර්ශන නීතිපතිවරයාට භාර දුන්නා.
මේ විමර්ශන සිදු කරන පොලිස්පතිවරයා කව්ද. මේ පොලිස්පතිවරයා තමයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස හිටියේ. මේ ප්‍රහාරය සිදු වුණේ 2019 දී.
අතීතය දන්නෙ නැති අය තමයි බහුතරය තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරලා කියනවා, ඒ සිදුවීම වෙනකොට මම පොලිස් ඇමැතිලු. ඉතිහාසය දන්නේ නැති මිනිස්සු. ඊබ්‍රහිම්ගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු නියෝජිතයෙක්. එයාට කියලා මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණනේ.
****
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නේ නම් විමර්ශන නිවැරදි විය යුතුයි – මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නේ නම් මෙහි විමර්ශන නිවැරදි ලෙස සිදු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට ඊයේ (26) එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේකට කොච්චර මුදල් ගිහින් තියනවාද කියල කිව්වා. මේ විවාදවලට ගිය මුදල් කිව්වා. නමුත් මේකට සාධාරණයක් තමයි අවශ්‍ය. ඒ නිසා මේ මුදල් පිළිබඳ කියන්න ඕනේ මේකට සාධාරණයක් වෙන්න ඕනේ. එහෙම වුණා නම් අපිට මේ ගැන කතා නොකර ඉන්න තිබ්බා. මීට සම්බන්ධයෙන් මුල් ක්‍රියාකාරකම් වුණේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලේයි. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් කට උත්තරත් අරන් තියනවා. අපි දන්නවා මේකේ මහ මොළකරුවෝ. අපි ඒවා එකින් එක කියන්නන්. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කළා. ඒක කොටි සංවිධානය කළා කියලයි කිව්වේ කලින්. නමුත් ඒක පස්සේ අනාවරණය වෙනවා ඒ ඝාතන කළේ සහරාන්ලා කියලා.
එහෙනම් එතන ලොකු සැකයක් තිබෙනවා. මේවා කුමන්ත්‍රණ ද? බුද්ධි අංශ කියන කතාවල පරස්පරතා තිබෙනවා. ඉන්ටර්පෝල් එකේ සහාය ගත්ත කියනවා. නමුත් එහෙම වෙන්නෙත් නෑ. ජමීල් කියන ත්රස්තවාදියා ගැන 2018 අනාවරණය වුණා නමුත් පස්සේ කියලා තියනවා ඔහු හොඳ වුණා කියලා දවස් 52 ආණ්ඩු කුමන්ත්‍රණය මේ ගැන බරපතළ ප්රශ්නකාරී තත්ත්වයන් මතු වනවා. මොකද දින 52 ආණ්ඩුවේදී මේ ත්රස්තවාදියා හොඳයි කියලා කියනවා. ශානි අබේසේකරලට ගහන්නේ එදා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඔවුන් කටයුතු කළ නිසයි. දවස් 52 කුමන්ත්රණයෙන් පස්සේ තමා මේ ගොඩක් දේවල් වුණේ. නාලක සිල්වා තමා සහරාන් ගැන හෙව්වේ. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගත්තා.
දැන් අලුතින් පරීක්ෂණ පවත්වනවා නම් නිලන්ත ජයවර්ධනයි සුරේෂ් සලෙයි ගැනයි කරන්න ඕනේ. මේ පාවාදීම කරපු කුමන්ත්‍රණ කරුවන් ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයාත් කටයුතු කරමින් සිටිනවා. මේ මහා පාවාදීම කළේ බලය ලබාගන්නයි. සිරිසේන උන්නැහෙ කියනවා මේක ඉන්දියාවලු කළේ නමුත් මේ ප්‍රහාරය ගැන තුන් වතාවක් දැනුම් දුන්නා. එදා ජනාධිපති සිරිසේන මොකක් ද ඒ උන්නැහෙ කළේ එදා. මේ ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ඉන්දියාවේ සහාය ගත යුතුයි. ඒ වගේම ඩොක්ටර් ශාෆි ගැන කියන්න ඕනේ එදා අම්මලා 180ක් වඳ කළා කිව්ව ශාෆි. නමුත් අද ඒ මව්වරු 120කට විතර ළමයි ලැබිලා. අනිත් මව්වරුන්ටත් ප්‍රශ්නයක් නෑ. මේ වගේ බොරු තමයි එදා බලය ගන්න සමහරු කළේ. මේ කරුණු එක්ක ඉතා පහැදිලියි මේකේ මහමොළකරු කව්ද කියලා.
****
පාස්කු බෝම්බකරුවන්ගේ තාත්තා-මාමා නියෝජනය කළ පක්ෂයකට ඡන්දය දෙන්නැයි කාදිනල්තුමා කිතුනුවන්ට කියනවා – මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා සහ මාමා නියෝජනය කරන පක්ෂවලට ඡන්දය දෙන්න කියලා කිතුණු බැතිමතුන්ට ප්‍රකාශ කිරීමට තරම් කාදිනල්වරයා පහත් තත්ත්වයට වැටී තිබීම කනගාටුදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
පාස්කු සිද්ධිය දේශපාලනීකරණය කරගෙන කතෝලික ජනතාව සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ තිබෙන ගෞරවය නැති කර නොගත යුතුයි. කිතුණු බැතිමතුන් වෙනත් ආගම්වලට යාම වළක්වා ගැනීමට කාදිනල්වරයා පියවරගත යුතුයි.
පාර්ලිමේන්තුවේ දින 14ක් තුළදී පැය 76ක් පුරාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාද කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 150ක් මේ විවාදය සඳහා රජය වැය කර තිබෙනවා. මේ සිද්ධිය පදනම් කරගෙන අගරදතුමා, කතෝලික සභාව මතයක් ජනගත කිරීමට උත්සාහ කරනවා. කිතුණු බැතිමතුන් ලෙස ඔවුන් සාධාරණයි. මේක පළමුවැනි මෙරට ආගමික ප්‍රහාරය නොවෙයි. ඊට පෙර දළඳා මාලිගාවට, ශ්‍රී මහා බෝධීන් වහන්සේට, කාන්තන්කුඩි පල්ලියට විවිධ ලෙස අන්තවාදීන් හා ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කළා. දළඳා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීම, අරන්තලාවේ භික්ෂු ඝාතනය යනාදී ලෙස ප්‍රහාර එල්ල කළ ද සිංහල බෞද්ධයන් මේ ගැටලුව වසර ගණනාවක් තිස්සේ ඇදගෙන ගියේ නැහැ. මේ සිද්ධියට සම්බන්ධ නැති ගෝඨාභය මහතාට චෝදනා එල්ල කිරීම සුදුසු නැහැ. අගරදගුරුවරයා ඇතුළු කතෝලික සභාවට වැඳලා කියන්නේ ඒ සභාවට තිබෙන ගෞරවය නැති කර ගන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. එසේ නොකළොත් වන්නේ ඔබලාගේ භක්තිකයන් ගිහිං නවතින්නේ ජෙරම් ළඟ. සජිත් ප්‍රේමාදාස මහතාට, අනුර දිසානායක මහතාට ඡන්දය දෙන්න කියලා අගරදගුරුතුමා ජනතාවට කියනවා. ආගමික නායකයෙක් එසේ කීම සුදුසු නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ තාත්තා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකුගේ මාමා හා තාත්තා ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ පක්ෂයකට ඡන්දයක් දෙන්න කියන්න තරම් අගරදගුරුවරයා පහත් ද. මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු වාර්තා මා සතුව තිබෙනවා.
අන්තවාදී මතයන් මෙරට පෝෂණය කරන්නන්ගෙන් 32ක් සිරියාවට යනවා. ඒ ගැන ආරක්ෂක කවුන්සිලයට බුද්ධි අංශය වාර්තා කරනවා. මේ ප්‍රහාර එල්ල වෙලා දැන් අවසන්. මේ සිද්ධියට අදාළව පුද්ගලයන් 730ක් අත්අඩංගුවට ගෙන 411කට ඇප ලබා දී තිබෙනවා. විදේශයන්හි අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 52ක්. අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ වූවන් අසාදුලේඛනගත කිරීම ගෝඨාභය ආණ්ඩුවෙන් කළා. සොනික් ගැන බී වාර්තාවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල්වරයා අසත්‍ය ප්‍රචාරයන් සිදු කරනවා. ආගමික නායකයෙක් එසේ සිදු කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීමට මේ ප්‍රහාරය එල්ල කළා කියනවා. සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කිරීමට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා කියන දේ පොඩි ළමයින්ට කියන්න හොඳයි. ජාතික ආරක්ෂාව හරියට ක්‍රියාත්මක කළා නම් මෙවැනි ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ.
****
පාස්කුදා ප්‍රහාරය ගැන සත්‍ය සොයන්න අලුත් යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි – මන්ත්‍රී ජී.එල්. පීරිස්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තරයෙන් සහාය ලබා ගන්නා අලුත් යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ මහතා මෙසේ ද පැවසීය.
මෙම යන්ත්‍රණය කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුක්ත වූවක් විය යුතුයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් මොනවා හරි හැංගිලා තිබෙනවා. මේ සිද්ධියේ සත්‍ය සොයා ගැනීම සඳහා යන්ත්‍රණයක් පිහිටුවිය යුතුයි. ඒ සඳහා උචිත යන්ත්‍රණය මේ සභාවට යෝජනා කරන්න මම කැමතියි. 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් ආඥා පනත යටතේ මේ සඳහා සුදුසු යන්ත්‍රණය ස්ථාපිත කළ හැකියි. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂකයන් මේ සඳහා සම්බන්ධ කර ගත යුතුයි. ස්ථිර විමර්ශන කාර්යාලයක් ද මේ සඳහා අවශ්‍ය වෙනවා. තාක්ෂණික සහාය ද අවශ්‍යයයි. ඒ සඳහා විශ්වාසනීය ආයතන සම්බන්ධ කර ගත හැකියි.
පත් කර ගන්නා යන්ත්රණයට පුළුල් විෂය පථයක් ලබාදිය යුතුයි. ජාතික පොලිස් කොමිෂන් සභාවට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, නීතිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමට මේ යන්ත්රණයෙන් ඉඩ ලබා දිය යුතුයි. ලැබෙන නිගමන හා තොරතුරු ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ඒ වගේම ලබා ගන්නා තොරතුරු මුද්‍රණය කර රටේම ජනතාව දැනුම්වත් කළ යුතුයි. යන්ත්රණයෙන් ලබා ගන්නා තොරතුරු අනුව නඩු පැවරීම සිදු කළ යුතුයි. එය නීතිපතිවරයා විසින් කළ යුතුයි. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් මේ සඳහා ස්ථාපිත කළ යුතුයි. රජයේ අධිචෝදක කාර්යාලයක් ද මේ සඳහා අවශ්‍ය වෙනවා.
****
තරුණයන් කොරියාවට යවන බවට පොරොන්දු දී කෝටි ගණනින් වංචා කළ දකුණේ දේශපාලනඥයා හෙළි කරන්න – මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
තරුණයන් කොරියාවට යවන බවට පොරොන්දු දෙමින් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළ දකුණේ ප්‍රබල දේශපාලඥයා කවුද කියලා රටට හෙළි කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසීය.
මෙම ප්‍රබල දේශපාලඥයා කවුද කියා රටට හෙළි නොකළොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම සම්බන්ධයෙන් ජනතාව අතර නැවත වැරදි මතයක් ගොඩනැඟෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
දකුණු පළාත නියෝජනය කරන මැති ඇමැතිවරුන් රැසක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දකුණේ ප්‍රධාන දේශපාලඥයෙක්, ප්‍රබල දේශපාලඥයෙක් තරුණයන් රවටා කොරියන් යවන බවට පෙරොන්දු දී පුහුණුව ලබාදී රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වංචා කර තිබෙනවා. පසුගිය දින දෙක තුනේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදියට මාධ්‍යයේ පළ වුණා. ඒ කවුද කියලා මාධ්‍යයෙන් හෙළි කරන්නේ නැහැ. මේ පුද්ගලයා කවුද කියලා සභාවට හෙළිදරව් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. දකුණු පළාතේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට නම් මේ වංචාව සිදු කළ පුද්ගලයා කවුද කියලා හෙළි කළ යුතුයි. නැත්නම් මේ පාර්ලිමේන්තුවේ 225ම තක්කඩියන්, හොරුන් විදියට ජනගත කරලා තිබෙන මතයට මේ හරහා තවත් වටිනාකමක් එකතු කරන සිද්ධියක් වෙනවා. එය වළක්වාගත යුතුයි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා –
මේ ගැන කථානායකවරයාට දැනුම් දෙන්නම්. යම් දෙයක් වාර්තා කිරීමේදී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා කිරීම මාධ්යවේදීන්ගෙත් වගකීමක් තිබෙනවා. එහෙම වන්නේ නම් අපි හැමෝටම එන අපවාදයෙන් වැළකී සිටීමට පුළුවන්.
ඩලස් අලහප්පෙරුම මහතා –
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සුරා බලපත් 32ක් ලබාදී ඇති බවට ප්‍රචාරය වුණා. ඇතැම් ආගමික, දේශපාලන නායකයන්, මාධ්‍ය, නව මාධ්‍ය සියල්ලම මේ දෙය වාර්තා කරනවා. මම දන්නා තරමින් මා නියෝජනය කරන කණ්ඩායමේ අයට සුරා බලපත්‍ර ලබාදී නැහැ. විපක්ෂයේ අති බහුතරයක් මන්ත්‍රීවරුන්ට එහෙම වරප්‍රසාද දීලත් නැහැ. අරගෙනත් නැහැ. මේක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් විදියට මම දකිනවා. මේක විපක්ෂයට පොදුවේ එල්ල කරන සාහසික චෝදනාවක්. 1994 ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයකුට බලපත්‍ර 8 ගණනේ නිකුත් කළා. වයින් ස්ටෝර්ස් 3කුත්, ලිකර් බලපත්‍ර 5කුත් විදියට එය ලබාදුන්නා. එදාත් මම ඒ දේට විරුද්ධ වුණා. මන්ත්‍රීවරුන් වරප්‍රසාද විකුණාගෙන කන එකට මම විරුද්ධ වුණා. ඒ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
****
සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා රටවල් හතකට ෆ්‍රී වීසා දෙන්න ඇමැති මණ්ඩලය එකඟ වුණා – ඇමැති හරීන් ප්‍රනාන්දු
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වැඩි දියුණුව උදෙසා රටවල් හතකට ෆ්‍රී වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවසීය.
ස්ථාවර නියෝග 27(2) යටතේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකට ෆ්‍රී වීසා ලබාදීම සිදු කරනවා. තවත් රටවල් 60කට ෆ්‍රී වීසා ලබාදීමේ තීරණය ගැනීමට කමිටුවක් පත් කළා.
වීසා ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරනවා. වීසා හඳුන්වා දීමේදී දින 30 තනි වරකට පැමිණෙන වීසා එක සිස්ටම් එක තුළ නොතිබීම තමයි ගැටලුව වුණේ. ඒක ප්‍රායෝගික ගැටලුවක් වුණා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කළේ නෑ කියලා කියනවා. මුදල් කමිටුවට මේ ගැන වාර්තා කර තිබුණා නම් පාර්ලිමේන්තුවේ අවධානයට එය යොමු කරන්න තිබුණා. රටවල් හතකට වීසා ෆ්‍රී ලෙස ලබාදී තිබෙනවා. රටවල් 60කට වීසා ෆ්‍රී දෙන්න කියලා කමිටුවක් පත් කළා. එහි තීරණය ලැබීමට නියමිතයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –
වීසා ගැටලුව මුදල් කමිටුවට ආවා. පාර්ලිමේන්තුවට එය වාර්තා කළා.
****
සංවර්ධන කටයුතුවලට ප්‍රතිපාදන වෙන් කිරීම විනිවිදභාවයකින් සිදු කරනවා – ඇමැති ප්‍රසන්න රණතුංග
සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිදභාවයකින් සිදු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) අවධාරණය කළේය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) මතුකළ කරුණකට පිළිතුරු ලබා දෙමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙවර වෙන් වෙන් වශයෙන් විමධ්‍යගත අරමුදල් වෙන් කර නැහැ. සියලු ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට නොව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලටයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙවර විමධ්‍යගත අරමුදල් ලබා නොදෙන බවට සිදුකරන චෝදනා පදනම් විරහිතයි.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (සජබ)-
වර්තමාන පාර්ලිමේන්තුවෙන් විමධ්‍යගත අරමුදල් අපිට ලබා දෙන්න තීන්දු කරලා තිබුණා. අපිට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ආරාධනා කළා. අපි එහි ගියා. එහිදී අපගේ යෝජනා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට හා සම්බන්ධිකරණ කමිටුවට දෙන්න කිව්වා. අපි ඒ විදියට ඒ යෝජනා දුන්නා. යොමුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය නොලැබුණ බවට මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ලිපියක් ඇවිල්ලා තියෙනවා. තෝරාගත් මන්ත්‍රීවරුන්ට පමණක් මේ ප්‍රතිපාදන ලබා දීම අසාධාරණයි. ඉතිහාසයේ එහෙම වෙලා නෑ.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා-
මේ විමධ්‍යගත මුදල් සම්බන්ධව මේ සභාවේ සාකච්ඡාවට ලක්වුණා. ජනාධිපතිතුමාගේ ප්රකාශයේදී කියා සිටියේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ප්‍රතිපාදන වෙන් කළ බවයි. දිස්ත්‍රික් කමිටුවට අපි චක්‍රලේඛනයක් යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේම සාකච්ඡා වුණා. මන්ත්‍රීවරු ඔවුන්ට
ඕනෑ ඕනෑ විදියට ව්‍යාපෘති යෝජනා හදනවා.