Wednesday, May 8, 2024
Home » පාර්ලි­මේන්තුව
ස්වර්ණා‌ ­වි­ජේ­කෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලි­මේන්තුව

by damith
April 27, 2024 1:10 am 0 comment

පාස්කුදා ප්‍රහාර ගැන පරී­ක්ෂණ පවත්වා අව­සන් කළ යුතුයි – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත

මැති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කිරීම හෝ පරා­ජය වීම යන කරුණ මත නොපි­හිටා සත්‍ය සෙවීම පද­නම් කර ගනි­මින් පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා අව­සන් කළ යුතු යැයි අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (26) පැව­සීය.

පාස්කුදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පැවැති විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

කල්ත­බන අව­ස්ථාවේ යෝජනා ගණ­නා­වක් පාස්කුදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කර තිබෙ­නවා. මේ සිද්ධිය සිදු වූ දින සිට කල්ත­බන යෝජනා හා අනෙ­කුත් යෝජනා, කතා කළ වාර ගණන් සහ 2019.04.23 වැනිදා සිට අද දක්වා අදාළ වෙළුම්, කාණ්ඩ, මන්ත්‍රී­ව­රුන්ගේ නම් ගම් සහි­තව ඉදි­රි­පත් කළ හැකියි. මේ සිද්ධි­යට අදා­ළව වසර පහ තුළදී මේ ගැන කොච්චර කතා කර තිබෙ­න­වාද. මේ සිද්ධි­යට ප්‍රහා­ර­ක­රු­වන් 9ක් සම්බන්ධ වෙලා තිබෙ­නවා.

1983 සිට ත්‍රස්ත­වා­දය අව­සන් කරන තෙක් තිබූ මැති­ව­ර­ණ­වල ප්‍රධාන සාධ­කය වුණේ ත්‍රස්ත­වා­දය. ඒ ඉති­හා­සය බොහෝ අයට අම­ත­කයි. එය පද­නම් කර­ගෙන මැති­ව­රණ ජය ගත්තා. 2015 වසරේ එය අදාළ වුණේ නැහැ. 2019 වස­රේදී මේ ඇති වූ බෝම්බ සිද්ධිය සමඟ ඊළඟ මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල තීන්දු වුණා. ඊළඟ මැති­ව­ර­ණ­ය­ටත් ඒකම තමයි බල­පාන්නේ කියලා තමයි මේ විවා­ද­ව­ලින් කියන්න හදන්නේ. අපි මහ­ජන නියෝ­ජි­ත­යන් විදි­යට මේ කරුණු පිළි­බඳ සංවේ­දීයි. ඒ වගේම ආග­මික නාය­ක­යි­නුත් මේ ගැන සංවේ­දීයි.

පාස්කුදා ප්‍රහා­රය සිදු වූ අව­ස්ථාවේ සිටි ආර­ක්ෂක ලේක­ම්ව­රයා කිය­නවා ගහන බව දන්නවා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ආර­ක්ෂක ලේක­ම්ව­රයා ඒ බව දැන සිටියා නම් එව­කට සිටි විධා­ය­කය මේ සිද්ධිය නොදැන සිටී­මට හේතු­වක් නැහැනේ.

විදේ­ශි­ක­යන් පවා මේ සිද්ධි­යේදී මර­ණ­යට පත් වුණා. විදේ­ශි­ක­යන් 45ක් මර­ණ­යට පත් වුණා. පැය 24ක් තුළදී මෙරට සිටි සියලු විදේ­ශි­ක­යන් රටින් පිටව ගියා. වසර ගණ­නා­වක් තිස්සේ එය අපේ සංචා­රක කර්මා­න්ත­යට බල­පෑවා.

****

අප­රාධ මර්ද­නය කර නීතිය – සාමය ස්ථාපිත කරන්න පොලි­සි­යක් සහ බුද්ධි අංශ රටට අව­ශ්‍යයි – මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක

අප­රාධ මර්ද­නය කර නීතිය සහ සාමය ස්ථාප­නය කළ හැකි පොලි­සි­යක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජන­රජ පෙර­මුණු නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

පාඨලි චම්පික රණ­වක මහතා මේ බව සඳ­හන් කළේ පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විවා­ද­යට ඊයේ (26) එක් වෙමිනි.

ඒ මහතා තව­දු­ර­ටත් මෙසේද පැව­සීය.

පොලි­සිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි. දේශ­පා­ලන බල­පෑ­ම්ව­ලින් ඒවා මුදා ගැනීම අත්‍ය­ව­ශ්‍යයි.

වර්ත­මා­න­යේදී රටේ බුද්ධි අංශ, විම­ර්ශන අංශ, ආර­ක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බල­පෑ­ම්ව­ලට යටත්ව ඇති අතර පොලිස් ඇමැ­තිගේ සහ රජයේ අත­කොළු බවට එවැනි ආය­තන පත්වීම රටට අහි­ත­ක­රයි. ඒ නිසා ඒවායේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරී­මට කඩි­නම් පිය­වර ගත යුතුයි.

දේශ­පා­ලන පාතා­ල­යක් ක්‍රියා­ත්මක වෙනවා. මැති­ව­ර­ණ­යක් ආසන්න වන විට දේශ­පා­ලන පාතා­ලය සක්‍රිය වන අතර එවැනි තත්ත්ව පාල­න­ය­ටද ආර­ක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. ආර­ක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අප­රා­ධ­යක් මර්ද­නය සඳහා සෘජුව වග­කීම් දැරිය යුතුයි.

ආර­ක්ෂක සහ බුද්ධි අංශ­වල ගැටලු පාස්කු ප්‍රහා­ර­යට සාධක වී ඇති අතර ලද තොර­තුරු හෙළි නොකි­රීම ද ගැට­ලු­වක්. බව හෙතෙම පැව­සීය.

පාස්කු ප්‍රහා­රය සම්බන්ධ ඇතැම් නිර්දේශ ද මෙතෙක් ක්‍රියා­ත්මක වී නැහැ. පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාව සහ ජනා­ධි­පති කොමි­සම ද නිර්දේශ කිහි­ප­යක් ඉදි­රි­පත් කර තිබුණා. ඒවා ක්‍රියා­ත්මක නොවී­මද ගැටලු සහ­ග­තයි.

****

පාස්කු ඉරිදා ප්‍රහා­රය ගැන විම­ර්ශන කරන්න අව­ශ්‍ය­තා­ව­ක් වත්මන් ආණ්ඩු­වට නැහැ – මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කිරීමේ අව­ශ්‍ය­තා­වක් වත්මන් ආණ්ඩු­වට නැතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳ­හන් කළේ පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සභාව කල් තබන අව­ස්ථාවේ විවා­ද­යට ඊයේ (26) එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැව­සීය.

මෙම විම­ර්ශන සිදු කිරීම වෙනු­වෙන් පත්කර සිටි නිල­ධා­රින් සියලු දෙනා මේ වන­විට ඉවත් කර වෙනත් පිරි­සක් පත් කර තිබෙ­නවා.

පාස්කු ඉරිදා ප්‍රහා­රය ගැන ආණ්ඩුව කිසිම ක්‍රියා­මා­ර්ග­යක් ගන්නේ නැහැ. මේ සම්බ­න්ධ­යෙන් මරණ විශාල ප්‍රමා­ණ­යක් සිදු වුණා. විශාල පිරි­සක් වින්දි­ත­යින් බවට පත් වුණා. මේ සම්බ­න්ධ­යෙන් විශාල පිරි­සක් අත්අ­ඩං­ගු­වට පත්වුණා. නිල­ධා­රින් විශාල පිරි­සක් විම­ර්ශන කළා. ඒ සියලු දෙනා විම­ර්ශ­න­ව­ලින් ඉවත් කළා. කිංස්බරි සිදු­වීමේ විම­ර්ශන නිල­ධා­රියා, කොච්චි­කඩේ පල්ලියේ විම­ර්ශන නිල­ධා­රියා, මේ සියලු දෙනා ඉවත් කළා. මේ ආණ්ඩුව ආපු ගමන් ඒ අයට අවශ්‍ය පිරි­සක් පත්කළා. ආණ්ඩු­වට අවශ්‍ය මේ විම­ර්ශන වසන් කිරී­ම­ටයි.

2019 මැති­ව­ර­ණය එන­කොට උතුරු නැඟෙ­න­හිර ඡන්ද ටික ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ලැබෙන්නෙ නැති බව දන්නවා. එහෙ­ම­නම් කතෝ­ලික ඡන්ද ටික නතර කරන්න ඕන නිසයි මේ ප්‍රහා­රය සිදු කරන්නේ. ඒ වගේම මේ විම­ර්ශන නීති­ප­ති­ව­ර­යාට භාර දුන්නා.

මේ විම­ර්ශන සිදු කරන පොලි­ස්ප­ති­ව­රයා කව්ද. මේ පොලි­ස්ප­ති­ව­රයා තමයි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙස හිටියේ. මේ ප්‍රහා­රය සිදු වුණේ 2019 දී.

අතී­තය දන්නෙ නැති අය තමයි බහු­ත­රය තිබෙන්නේ. ජනතා විමුක්ති පෙර­මුණේ අනුර කුමා­රලා කිය­නවා, ඒ සිදු­වීම වෙන­කොට මම පොලිස් ඇමැ­තිලු. ඉති­හා­සය දන්නේ නැති මිනිස්සු. ඊබ්‍ර­හිම්ගේ තාත්තා ජනතා විමුක්ති පෙර­මුණේ ජාතික ලැයිස්තු නියෝ­ජි­ත­යෙක්. එයාට කියලා මේ ප්‍රහා­රය වළක්වා ගන්න තිබු­ණනේ.

****

පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු­ක­රන්නේ නම් විම­ර්ශන නිවැ­රදි විය යුතුයි – මන්ත්‍රී නලින් බණ්ඩාර ජය­මහ

පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු­ක­රන්නේ නම් මෙහි විම­ර්ශන නිවැ­රදි ලෙස සිදු විය යුතු බව පාර්ලි­මේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජය­මහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

මන්ත්‍රී­ව­රයා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් වූ සභාව කල්ත­බන අව­ස්ථාවේ විවා­ද­යට ඊයේ (26) එක් වෙමිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සීය.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මේකට කොච්චර මුදල් ගිහින් තිය­න­වාද කියල කිව්වා. මේ විවා­ද­ව­ලට ගිය මුදල් කිව්වා. නමුත් මේකට සාධා­ර­ණ­යක් තමයි අවශ්‍ය. ඒ නිසා මේ මුදල් පිළි­බඳ කියන්න ඕනේ මේකට සාධා­ර­ණ­යක් වෙන්න ඕනේ. එහෙම වුණා නම් අපිට මේ ගැන කතා නොකර ඉන්න තිබ්බා. මීට සම්බ­න්ධ­යෙන් මුල් ක්‍රියා­කා­ර­කම් වුණේ ගෝඨා­භය රාජ­පක්ෂ ආර­ක්ෂක ලේකම් විදි­හට ඉන්න කාලේයි. ඒ ගැන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්ත­යා­ගෙන් කට උත්ත­රත් අරන් තිය­නවා. අපි දන්නවා මේකේ මහ මොළ­ක­රුවෝ. අපි ඒවා එකින් එක කිය­න්නන්. පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නෙක් ඝාත­නය කළා. ඒක කොටි සංවි­ධා­නය කළා කිය­ලයි කිව්වේ කලින්. නමුත් ඒක පස්සේ අනා­ව­ර­ණය වෙනවා ඒ ඝාතන කළේ සහ­රාන්ලා කියලා.

එහෙ­නම් එතන ලොකු සැක­යක් තිබෙ­නවා. මේවා කුම­න්ත්‍රණ ද? බුද්ධි අංශ කියන කතා­වල පර­ස්ප­රතා තිබෙ­නවා. ඉන්ට­ර්පෝල් එකේ සහාය ගත්ත කිය­නවා. නමුත් එහෙම වෙන්නෙත් නෑ. ජමීල් කියන ත්‍රස්ත­වා­දියා ගැන 2018 අනා­ව­ර­ණය වුණා නමුත් පස්සේ කියලා තිය­නවා ඔහු හොඳ වුණා කියලා දවස් 52 ආණ්ඩු කුම­න්ත්‍ර­ණය මේ ගැන බර­ප­තළ ප්‍රශ්න­කාරී තත්ත්ව­යන් මතු වනවා. මොකද දින 52 ආණ්ඩු­වේදී මේ ත්‍රස්ත­වා­දියා හොඳයි කියලා කිය­නවා. ශානි අබේ­සේ­ක­ර­ලට ගහන්නේ එදා ගෝඨා­භය රාජ­ප­ක්ෂට විරු­ද්ධව ඔවුන් කට­යුතු කළ නිසයි. දවස් 52 කුම­න්ත්‍ර­ණ­යෙන් පස්සේ තමා මේ ගොඩක් දේවල් වුණේ. නාලක සිල්වා තමා සහ­රාන් ගැන හෙව්වේ. ඒ නිසා ඔහුව අත්අ­ඩං­ගු­වට ගත්තා.

දැන් අලු­තින් පරී­ක්ෂණ පව­ත්ව­නවා නම් නිලන්ත ජය­ව­ර්ධ­නයි සුරේෂ් සලෙයි ගැනයි කරන්න ඕනේ. මේ පාවා­දීම කරපු කුම­න්ත්‍රණ කරු­වන් ආරක්ෂා කර­න්නට ජනා­ධි­ප­ති­ව­ර­යාත් කට­යුතු කර­මින් සිටි­නවා. මේ මහා පාවා­දීම කළේ බලය ලබා­ග­න්නයි. සිරි­සේන උන්නැහෙ කිය­නවා මේක ඉන්දි­යා­වලු කළේ නමුත් මේ ප්‍රහා­රය ගැන තුන් වතා­වක් දැනුම් දුන්නා. එදා ජනා­ධි­පති සිරි­සේන මොකක් ද ඒ උන්නැහෙ කළේ එදා. මේ ප්‍රහා­රයේ පරී­ක්ෂණ පිළි­බඳ ඉන්දි­යාවේ සහාය ගත යුතුයි. ඒ වගේම ඩොක්ටර් ශාෆි ගැන කියන්න ඕනේ එදා අම්මලා 180ක් වඳ කළා කිව්ව ශාෆි. නමුත් අද ඒ මව්වරු 120කට විතර ළමයි ලැබිලා. අනිත් මව්ව­රු­න්ටත් ප්‍රශ්න­යක් නෑ. මේ වගේ බොරු තමයි එදා බලය ගන්න සම­හරු කළේ. මේ කරුණු එක්ක ඉතා පහැ­දි­ලියි මේකේ මහ­මො­ළ­කරු කව්ද කියලා.

****

පාස්කු බෝම්බ­ක­රු­වන්ගේ තාත්තා-මාමා නියෝ­ජ­නය කළ පක්ෂ­ය­කට ඡන්දය දෙන්නැයි කාදි­න­ල්තුමා කිතුනුවන්ට කියනවා – මන්ත්‍රී මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ

පාස්කුදා ප්‍රහා­ර­යට සම්බන්ධ මරා­ගෙන මැරෙන බෝම්බ­ක­රු­වන්ගේ තාත්තා සහ මාමා නියෝ­ජ­නය කරන පක්ෂ­ව­ලට ඡන්දය දෙන්න කියලා කිතුණු බැති­ම­තුන්ට ප්‍රකාශ කිරී­මට තරම් කාදි­න­ල්ව­රයා පහත් තත්ත්ව­යට වැටී තිබීම කන­ගා­ටු­දා­යක බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ­නු­වර දිස්ත්‍රික් මන්ත්‍රී මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (26) පැව­සීය.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පැවැති විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සීය.

මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සීය.

පාස්කු සිද්ධිය දේශ­පා­ල­නී­ක­ර­ණය කර­ගෙන කතෝ­ලික ජන­තාව සම්බ­න්ධ­යෙන් රටේ ජන­තාව තුළ තිබෙන ගෞර­වය නැති කර නොගත යුතුයි. කිතුණු බැති­ම­තුන් වෙනත් ආග­ම්ව­ලට යාම වළක්වා ගැනී­මට කාදි­න­ල්ව­රයා පිය­ව­ර­ගත යුතුයි.

පාර්ලි­මේ­න්තුවේ දින 14ක් තුළදී පැය 76ක් පුරා­වට පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විවාද කර තිබෙ­නවා. මේ සඳහා රුපි­යල් මිලි­යන 150ක් මේ විවා­දය සඳහා රජය වැය කර තිබෙ­නවා. මේ සිද්ධිය පද­නම් කර­ගෙන අග­ර­ද­තුමා, කතෝ­ලික සභාව මත­යක් ජන­ගත කිරී­මට උත්සාහ කර­නවා. කිතුණු බැති­ම­තුන් ලෙස ඔවුන් සාධා­ර­ණයි. මේක පළ­මු­වැනි මෙරට ආග­මික ප්‍රහා­රය නොවෙයි. ඊට පෙර දළඳා මාලි­ගා­වට, ශ්‍රී මහා බෝධීන් වහ­න්සේට, කාන්ත­න්කුඩි පල්ලි­යට විවිධ ලෙස අන්ත­වා­දීන් හා ත්‍රස්ත­වා­දීන් ප්‍රහාර එල්ල කළා. දළඳා මාලි­ගා­වට ප්‍රහාර එල්ල කිරීම, අර­න්ත­ලාවේ භික්ෂු ඝාත­නය යනාදී ලෙස ප්‍රහාර එල්ල කළ ද සිංහල බෞද්ධ­යන් මේ ගැට­ලුව වසර ගණ­නා­වක් තිස්සේ ඇද­ගෙන ගියේ නැහැ. මේ සිද්ධි­යට සම්බන්ධ නැති ගෝඨා­භය මහ­තාට චෝදනා එල්ල කිරීම සුදුසු නැහැ. අග­ර­ද­ගු­රු­ව­රයා ඇතුළු කතෝ­ලික සභා­වට වැඳලා කියන්නේ ඒ සභා­වට තිබෙන ගෞර­වය නැති කර ගන්න එපා කියලා ඉල්ලී­මක් කර­නවා. එසේ නොක­ළොත් වන්නේ ඔබ­ලාගේ භක්ති­ක­යන් ගිහිං නව­තින්නේ ජෙරම් ළඟ. සජිත් ප්‍රේමා­දාස මහ­තාට, අනුර දිසා­නා­යක මහ­තාට ඡන්දය දෙන්න කියලා අග­ර­ද­ගු­රු­තුමා ජන­තා­වට කිය­නවා. ආග­මික නාය­ක­යෙක් එසේ කීම සුදුසු නැහැ. ජනතා විමුක්ති පෙර­මුණේ ජාතික ලැයි­ස්තුවේ මරා­ගෙන මැරෙන බෝම්බ­ක­රු­ව­කුගේ තාත්තා. මරා­ගෙන මැරෙන බෝම්බ­ක­රු­වන් තිදෙ­න­කුගේ මාමා හා තාත්තා ජාතික ලැයි­ස්තු­වට ඇතු­ළත් වූ පක්ෂ­ය­කට ඡන්ද­යක් දෙන්න කියන්න තරම් අග­ර­ද­ගු­රු­ව­රයා පහත් ද. මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සියලු වාර්තා මා සතුව තිබෙ­නවා.

අන්ත­වාදී මත­යන් මෙරට පෝෂ­ණය කර­න්න­න්ගෙන් 32ක් සිරි­යා­වට යනවා. ඒ ගැන ආර­ක්ෂක කවු­න්සි­ල­යට බුද්ධි අංශය වාර්තා කර­නවා. මේ ප්‍රහාර එල්ල වෙලා දැන් අව­සන්. මේ සිද්ධි­යට අදා­ළව පුද්ග­ල­යන් 730ක් අත්අ­ඩං­ගු­වට ගෙන 411කට ඇප ලබා දී තිබෙ­නවා. විදේ­ශ­යන්හි අත්අ­ඩං­ගු­වට ගත් සංඛ්‍යාව 52ක්. අන්ත­වාදී ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­ව­ලට සම්බන්ධ වූවන් අසා­දු­ලේ­ඛ­න­ගත කිරීම ගෝඨා­භය ආණ්ඩු­වෙන් කළා. සොනික් ගැන බී වාර්තා­වක් කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙ­නවා. මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කාදි­න­ල්ව­රයා අසත්‍ය ප්‍රචා­ර­යන් සිදු කර­නවා. ආග­මික නාය­ක­යෙක් එසේ සිදු කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා කිරී­මට මේ ප්‍රහා­රය එල්ල කළා කිය­නවා. සිංහල බෞද්ධ නාය­ක­යෙක් ජනා­ධි­පති කිරී­මට මුස්ලිම් අන්ත­වා­දීන් පිරි­සක් මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල කළා කියන දේ පොඩි ළම­යින්ට කියන්න හොඳයි. ජාතික ආර­ක්ෂාව හරි­යට ක්‍රියා­ත්මක කළා නම් මෙවැනි ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ.

****

පාස්කුදා ප්‍රහා­රය ගැන සත්‍ය සොයන්න අලුත් යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කළ යුතුයි –  මන්ත්‍රී ජී.එල්. පීරිස්

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සත්‍ය සොයා ගැනීම සඳහා ජාත්‍ය­න්ත­ර­යෙන් සහාය ලබා ගන්නා අලුත් යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කළ යුතු බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (26) පැව­සීය.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පැවැති විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව පැව­සීය.

ඒ මහතා මෙසේ ද පැව­සීය.

මෙම යන්ත්‍ර­ණය කාර්ය­ක්ෂම හා විනි­වි­ද­භා­ව­යෙන් යුක්ත වූවක් විය යුතුයි. පාස්කු සිද්ධිය සම්බ­න්ධ­යෙන් මොනවා හරි හැංගිලා තිබෙ­නවා. මේ සිද්ධියේ සත්‍ය සොයා ගැනීම සඳහා යන්ත්‍ර­ණ­යක් පිහි­ටු­විය යුතුයි. ඒ සඳහා උචිත යන්ත්‍ර­ණය මේ සභා­වට යෝජනා කරන්න මම කැම­තියි. 1948 අංක 17 දරන විම­ර්ශන කොමි­ෂන් ආඥා පනත යටතේ මේ සඳහා සුදුසු යන්ත්‍ර­ණය ස්ථාපිත කළ හැකියි. ඒ සඳහා ජාත්‍ය­න්ත­රයේ සහාය ලබා ගැනී­මට සිදු වෙනවා. ජාත්‍ය­න්තර නිරී­ක්ෂ­ක­යන් මේ සඳහා සම්බන්ධ කර ගත යුතුයි. ස්ථිර විම­ර්ශන කාර්යා­ල­යක් ද මේ සඳහා අවශ්‍ය වෙනවා. තාක්ෂ­ණික සහාය ද අව­ශ්‍ය­යයි. ඒ සඳහා විශ්වා­ස­නීය ආය­තන සම්බන්ධ කර ගත හැකියි.

පත් කර ගන්නා යන්ත්‍ර­ණ­යට පුළුල් විෂය පථ­යක් ලබා­දිය යුතුයි. ජාතික පොලිස් කොමි­ෂන් සභා­වට, රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට, නීති­ප­ති­ව­ර­යාට නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට මේ යන්ත්‍ර­ණ­යෙන් ඉඩ ලබා දිය යුතුයි. ලැබෙන නිග­මන හා තොර­තුරු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලබා දිය යුතුයි. ඒ වගේම ලබා ගන්නා තොර­තුරු මුද්‍ර­ණය කර රටේම ජන­තාව දැනු­ම්වත් කළ යුතුයි. යන්ත්‍ර­ණ­යෙන් ලබා ගන්නා තොර­තුරු අනුව නඩු පැව­රීම සිදු කළ යුතුයි. එය නීති­ප­ති­ව­රයා විසින් කළ යුතුයි. ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යක් මේ සඳහා ස්ථාපිත කළ යුතුයි. රජයේ අධි­චෝ­දක කාර්යා­ල­යක් ද මේ සඳහා අවශ්‍ය වෙනවා.

****

තරු­ණ­යන් කොරි­යා­වට යවන බවට පොරොන්දු දී කෝටි ගණ­නින් වංචා කළ දකුණේ දේශ­පා­ල­නඥයා හෙළි කරන්න – මන්ත්‍රී ඩලස් අල­හ­ප්පෙ­රුම

තරු­ණ­යන් කොරි­යා­වට යවන බවට පොරොන්දු දෙමින් රුපි­යල් කෝටි දෙක හමා­රක් වංචා කළ දකුණේ ප්‍රබල දේශ­පා­ල­ඥයා කවුද කියලා රටට හෙළි කරන ලෙස කථා­නා­ය­ක­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (26) පැව­සීය.

මෙම ප්‍රබල දේශ­පා­ල­ඥයා කවුද කියා රටට හෙළි නොක­ළොත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 225ම සම්බ­න්ධ­යෙන් ජන­තාව අතර නැවත වැරදි මත­යක් ගොඩ­නැ­ඟෙන බව ද මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය.

පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකා­ශ­යක් කර­මින් ඒ මහතා මේ බව පැව­සීය.

තව­දු­ර­ටත් මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සීය.

දකුණු පළාත නියෝ­ජ­නය කරන මැති ඇමැ­ති­ව­රුන් රැසක් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කර­නවා. දකුණේ ප්‍රධාන දේශ­පා­ල­ඥ­යෙක්, ප්‍රබල දේශ­පා­ල­ඥ­යෙක් තරු­ණ­යන් රවටා කොරි­යන් යවන බවට පෙරොන්දු දී පුහු­ණුව ලබාදී රුපි­යල් කෝටි දෙක හමා­ර­කට වැඩි මුද­ලක් වංචා කර තිබෙ­නවා. පසු­ගිය දින දෙක තුනේ ප්‍රධාන ප්‍රවෘ­ත්ති­යක් විදි­යට මාධ්‍යයේ පළ වුණා. ඒ කවුද කියලා මාධ්‍ය­යෙන් හෙළි කරන්නේ නැහැ. මේ පුද්ග­ලයා කවුද කියලා සභා­වට හෙළි­ද­රව් කරන ලෙස කථා­නා­ය­ක­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­නවා. දකුණු පළාතේ මන්ත්‍රී­ව­රුන්ගේ වර­ප්‍ර­සාද ආරක්ෂා කිරී­මට නම් මේ වංචාව සිදු කළ පුද්ග­ලයා කවුද කියලා හෙළි කළ යුතුයි. නැත්නම් මේ පාර්ලි­මේ­න්තුවේ 225ම තක්ක­ඩි­යන්, හොරුන් විදි­යට ජන­ගත කරලා තිබෙන මත­යට මේ හරහා තවත් වටි­නා­ක­මක් එකතු කරන සිද්ධි­යක් වෙනවා. එය වළ­ක්වා­ගත යුතුයි.

නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා –

මේ ගැන කථා­නා­ය­ක­ව­ර­යාට දැනුම් දෙන්නම්. යම් දෙයක් වාර්තා කිරී­මේදී ඒ පිළි­බඳ නිවැ­රදි තොර­තුරු වාර්තා කිරීම මාධ්‍ය­වේ­දී­න්ගෙත් වග­කී­මක් තිබෙ­නවා. එහෙම වන්නේ නම් අපි හැමෝ­ටම එන අප­වා­ද­යෙන් වැළකී සිටී­මට පුළු­වන්.

ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා –

විප­ක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන්ට සුරා බල­පත් 32ක් ලබාදී ඇති බවට ප්‍රචා­රය වුණා. ඇතැම් ආග­මික, දේශ­පා­ලන නාය­ක­යන්, මාධ්‍ය, නව මාධ්‍ය සිය­ල්ලම මේ දෙය වාර්තා කර­නවා. මම දන්නා තර­මින් මා නියෝ­ජ­නය කරන කණ්ඩා­යමේ අයට සුරා බල­පත්‍ර ලබාදී නැහැ. විප­ක්ෂයේ අති බහු­ත­ර­යක් මන්ත්‍රී­ව­රුන්ට එහෙම වර­ප්‍ර­සාද දීලත් නැහැ. අර­ගෙ­නත් නැහැ. මේක විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ගේ වර­ප්‍ර­සාද කඩ කිරී­මක් විදි­යට මම දකි­නවා. මේක විප­ක්ෂ­යට පොදුවේ එල්ල කරන සාහ­සික චෝද­නා­වක්. 1994 ආණ්ඩුවේ එක මන්ත්‍රී­ව­ර­ය­කුට බල­පත්‍ර 8 ගණනේ නිකුත් කළා. වයින් ස්ටෝර්ස් 3කුත්, ලිකර් බල­පත්‍ර 5කුත් විදි­යට එය ලබා­දුන්නා. එදාත් මම ඒ දේට විරුද්ධ වුණා. මන්ත්‍රී­ව­රුන් වර­ප්‍ර­සාද විකු­ණා­ගෙන කන එකට මම විරුද්ධ වුණා. ඒ පිළි­බ­ඳව කථා­නා­ය­ක­ව­ර­යාගේ අව­ධා­නය යොමු කරන ලෙස ඉල්ලා සිටි­නවා.

****

සංචා­රක ක්ෂේත්‍රයේ දියු­ණුව උදෙසා රට­වල් හත­කට ෆ්‍රී වීසා දෙන්න ඇමැති මණ්ඩ­ලය එකඟ වුණා – ඇමැති හරීන් ප්‍රනාන්දු

මෙරට සංචා­රක ක්ෂේත්‍රයේ වැඩි දියු­ණුව උදෙසා රට­වල් හත­කට ෆ්‍රී වීසා ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලයේ එක­ඟ­තාව ලැබුණු බව සංචා­රක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කට­යුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (26) පැව­සීය.

ස්ථාවර නියෝග 27(2) යටතේ අසා තිබූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

තව­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

ඉන්දි­යාව, ඉන්දු­නී­සි­යාව, රුසි­යාව, චීනය, තායි­ල­න්තය ඇතුළු රට­වල් හත­කට ෆ්‍රී වීසා ලබා­දීම සිදු කර­නවා. තවත් රට­වල් 60කට ෆ්‍රී වීසා ලබා­දීමේ තීර­ණය ගැනී­මට කමි­ටු­වක් පත් කළා.

වීසා ගැට­ලුව සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස කැබි­නට් මණ්ඩ­ල­යේත් සාකච්ඡා කර­නවා. වීසා හඳුන්වා දීමේදී දින 30 තනි වර­කට පැමි­ණෙන වීසා එක සිස්ටම් එක තුළ නොති­බීම තමයි ගැට­ලුව වුණේ. ඒක ප්‍රායෝ­ගික ගැට­ලු­වක් වුණා. පාර්ලි­මේ­න්තුවේ මේ ගැන සාකච්ඡා කළේ නෑ කියලා කිය­නවා. මුදල් කමි­ටු­වට මේ ගැන වාර්තා කර තිබුණා නම් පාර්ලි­මේ­න්තුවේ අව­ධා­න­යට එය යොමු කරන්න තිබුණා. රට­වල් හත­කට වීසා ෆ්‍රී ලෙස ලබාදී තිබෙ­නවා. රට­වල් 60කට වීසා ෆ්‍රී දෙන්න කියලා කමි­ටු­වක් පත් කළා. එහි තීර­ණය ලැබී­මට නිය­මි­තයි.

විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලක්ෂ්මන් කිරි­ඇල්ල මහතා –

වීසා ගැට­ලුව මුදල් කමි­ටු­වට ආවා. පාර්ලි­මේ­න්තු­වට එය වාර්තා කළා.

****

සංව­ර්ධන කට­යු­තු­ව­ලට ප්‍රති­පා­දන වෙන් කිරීම විනි­වි­ද­භා­ව­ය­කින් සිදු කර­නවා – ඇමැති ප්‍රසන්න රණ­තුංග

සංව­ර්ධන කට­යුතු සඳහා ප්‍රති­පා­දන වෙන් කිරී­මේදී එය විනි­වි­ද­භා­ව­ය­කින් සිදු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (26) අව­ධා­ර­ණය කළේය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී අශෝක් අබේ­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (26) මතු­කළ කරු­ණ­කට පිළි­තුරු ලබා දෙමිනි.

තව­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

ආණ්ඩු පක්ෂය හෝ විප­ක්ෂයේ කිසිදු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුට මෙවර වෙන් වෙන් වශ­යෙන් විම­ධ්‍ය­ගත අර­මු­දල් වෙන් කර නැහැ. සියලු ප්‍රති­පා­දන වෙන් කර ඇත්තේ මන්ත්‍රී­ව­රුන්ට නොව දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­ව­ල­ටයි.

විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට මෙවර විම­ධ්‍ය­ගත අර­මු­දල් ලබා නොදෙන බවට සිදු­ක­රන චෝදනා පද­නම් විර­හි­තයි.

කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අශෝක් අබේ­සිංහ මහතා (සජබ)-

වර්ත­මාන පාර්ලි­මේ­න්තු­වෙන් විම­ධ්‍ය­ගත අර­මු­දල් අපිට ලබා දෙන්න තීන්දු කරලා තිබුණා. අපිට දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට ආරා­ධනා කළා. අපි එහි ගියා. එහිදී අපගේ යෝජනා දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට හා සම්බ­න්ධි­ක­රණ කමි­ටු­වට දෙන්න කිව්වා. අපි ඒ විදි­යට ඒ යෝජනා දුන්නා. යොමු­කළ සංව­ර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ අනු­මැ­තිය නොලැ­බුණ බවට මාස්පොත ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යෙන් ලිපි­යක් ඇවිල්ලා තියෙ­නවා. තෝරා­ගත් මන්ත්‍රී­ව­රුන්ට පම­ණක් මේ ප්‍රති­පා­දන ලබා දීම අසා­ධා­ර­ණයි. ඉති­හා­සයේ එහෙම වෙලා නෑ.

ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා-

මේ විම­ධ්‍ය­ගත මුදල් සම්බ­න්ධව මේ සභාවේ සාක­ච්ඡා­වට ලක්වුණා. ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රකා­ශ­යේදී කියා සිටියේ දිස්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටු­වට ප්‍රති­පා­දන වෙන් කළ බවයි. දිස්ත්‍රික් කමි­ටු­වට අපි චක්‍ර­ලේ­ඛ­න­යක් යවා තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාල­යේම සාකච්ඡා වුණා. මන්ත්‍රී­වරු ඔවුන්ට

ඕනෑ ඕනෑ විදි­යට ව්‍යාපෘති යෝජනා හද­නවා.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT