ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ඊයේ කොළඹ කණ්ඩායමට එරෙහිව දඹුල්ලේ පැවති මූලික වටයේ අවසන් තරගය ගාලු ක්‍රීඩකයෝ ඊයේ නිමා කළේ කඩුලු 10ක ජයක් සමඟිනි. මේ තරගය ජය ගැනීම සඳහා ගාල්ලට ලකුණු 154ක ඉලක්කය හිමිව තිබිණි.
පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් (202) වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 89ක් සහ සංගීත් කුරේ නොදැවී ලකුණු 57ක් රැස් කරමින් ගාලු ජය තහවුරු කළහ.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුලු පිල ලකුණු 296කට සීමා කළ ගාලු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 394ක් රැස් කළ අතර, ලකුණු 98ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ පිල ලකුණු 251කට දැවී ගියේ ගාල්ලට ලකුණු 154ක ඉලක්කය දෙමිනි.
තරග 8ක් ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම වාර්තා කළ සිව්වැනි ජය මෙය වන අතර, ඉතිරි තරග 4 ජය පරාජයෙන් තොරව නිමා කර තිබිණි.
කොළඹ පළමු ඉනිම – 296 (ඕවර 78.3) දිමුත් කරුණාරත්න 89 (අසංක මනෝජ් 70/3, ධනංජය ලක්ෂාන් 41/2, රමේෂ් මෙන්ඩිස් 73/2) සහ දෙවැනි ඉනිම – 251 (ඕවර 62.4) අශේන් බණ්ඩාර 86, ක්‍රිෂාන් සංජුල 71 (නිෂාන් පීරිස් 77/5)
ගාලු පළමු ඉනිම – 394 (ඕවර 0) ඕෂද ප්‍රනාන්දු 202 (ඉසිත ජයසුන්දර 45/6) සහ දෙවැනි ඉනිම – කිසිවකු නොදැවී 156 (ඕවර 40.5) ඕෂද ප්‍රනාන්දු නොදැවී 89, සංගීත් කුරේ නොදැවී 57
දඹුල්ල-යාපනය
මේ අතර මූලික වටයේ අවසන් තරගය ජය ගනිමින් අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි දඹුලු කණ්ඩායමේ එම බලාපොරොත්තු බිඳ දැමීමට යාපනය කණ්ඩායම ඊයේ සමත් වූයේ පල්ලෙකැලේ පැවති තරග ජය පරාජයෙන් තොරව නිමා කරමිනි. මේ හේතුවෙන් පසුගිය වසරේ ශූරයන් වූ දඹුල්ලට තෙවැනි ස්ථානයෙන් මෙවර තරගාවලිය නිමා කිරීමට සිදු විය.
මේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 481ක දැවැන්ත ඉලක්කයක් දෙමින් දඹුලු පිල සිය දෙවැනි ඉනිම ලකුණු 257කට අත්හිටුවූ අතර, තරගය නිමා වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 368ක් රැස් කර තිබිණි.
දඹුල්ල පළමු ඉනිම – 392 (ඕවර 122.3) සොනාල් දිනූෂ 112, රනේෂ් සිල්වා 100, සනෝජ් දර්ශික 69 (දිලුම් සුධීර 130/5, කල්හාර සේනාරත්න 49/2) සහ දෙවැනි ඉනිම – 257/9 (ඕවර 69) චමිඳු විජේසිංහ නොදැවී 66 (ජනිත් ලියනගේ 27/3, කල්හාර සේනාරත්න 54/2, දිලුම් සුධීර 69/2)
යාපනය පළමු ඉනිම – 169 (ඕවර 51) ජනිත් ලියනගේ 51 (දුවිඳු තිලකරත්න 1/3, නවීන් ප්‍රනාන්දු 34/2, ලක්ෂාන් සඳකැන් 42/2, විශ්ව ප්‍රනාන්දු 51/2) සහ දෙවැනි ඉනිම – 368/7 (ඕවර 67) නිපුන් කරුණානායක 87, රොන් චන්ද්‍රගුප්ත 52, සඳුන් වීරක්කොඩි 49 (දුවිඳු තිලකරත්න 53/3, මුර්වින් අබිනාෂ් 81/2)
නිරෝෂාන් ප්‍රියංකර