Tuesday, May 14, 2024
Home » ජනපති ඇරඹි ගාසාහි ළමා අරමුදලට මූල්‍ය පරිත්‍යාග රැසක්

ජනපති ඇරඹි ගාසාහි ළමා අරමුදලට මූල්‍ය පරිත්‍යාග රැසක්

by sachintha
April 29, 2024 2:53 am 0 comment

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද Sports First පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය. එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේදී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.

2024 අප්‍රේල් 30 වැනිදා දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායක වීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වැනිදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටී.

අද චෙක්පත් පිළිගැන්වීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, එච්.එම්.එම්. හරීස් යන මහත්වරු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT