Tuesday, May 14, 2024
Home » වෙත්තිමරාජපුර කසළ අංගණය නිසා දුක් විඳින ජනතාව

වෙත්තිමරාජපුර කසළ අංගණය නිසා දුක් විඳින ජනතාව

by sachintha
April 29, 2024 1:59 am 0 comment

බේරුවල නගර සභාව කාලයක් පුරා නාගරික බලප්‍රදේශවලින් එකතු කරන කැළි කසළ ට්‍රැක්ටර්වලින් ගෙනැවිත් බැහැර කරන බේරුවල, වෙත්තිමරාජපුර කසළ අංගණයට ජනතාවගෙන් දැඩි විරෝධයක් මේ වන විට එල්ලවී තිබෙන බව මවුලවි අල් අලිම් මහමද් ෆස්රාස් හස්සාන් මහතා පැවැසීය.

මේ කසළ අංගණය අවට ජීවත් වෙන්නේ බේරුවල ප්‍රදේශයේ දුප්පත්ම මුස්ලිම් ජනතාවකි. ඔවුන් වැඩි දෙනකු පවසන්නේ තමන්ට ද ආගමක්, ජාතියක් තිබෙන බවත් තමන්ගේ ජීවත්වීමේ මූලික අයිතිය මෙම කුණු කන්දෙන් වැසී යෑමට පටන්ගෙන ඇති බවත්ය.

මේ පිළිබඳව මවුලවි අල් අලිම් මෙලෙස පැවැසීය.

“බේරුවල නගර සභාව කැළිකසළ බැහැර කළත් ඒවා පස් දමා වසා දැමීමට කටයුතු නොකර සිටීමෙන් මේ කුණු කන්ද මේ වන විට අඩි හතක් දක්වා උස්වී තිබෙනවා. ප්‍රදේශයේ ඇළ මාර්ග පවා ඇහිරී ඒ අවට ජීවත්වන පවුල් 400ක පමණ විශාල පිරිසක් මහත් පීඩාවකට පත්ව සිටිනවා.

සුළු වැසි තත්ත්වයකදී පවා මේ අවට ජීවත් වන ජනතාව විඳින්නේ අපා දුකක්. මේ කුණු කන්දෙන් දිවා රෑ හමන දැඩි දුර්ගන්ධය නිසා පිස ගත් කෑමක් බීමක් පවා කෑමට නොහැකිව කුඩා දරුවන් රෝගාබාධවලටත් ලක් වෙනවා. ඇතැම් පවුල් මේ පීඩනය ඉවසාගත නොහැකිව ප්‍රදේශය හැර ගොස් තිබෙනවා.”

මේ කුණු කන්ද අවට ජීවත් වන බොහෝ දෙනෙක් ද මෙලෙස අදහස් දැක්වූහ.

“මින් ඉදිරියට මේ කසළ අංගණයට කසළ බැහැර කිරීමට බේරුවල නගර සභාවට ඉඩ දෙන්නේ නෑ. බේරුවල නගර සභාව කලක සිට බැහැර කර තිබෙන කසළ නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කර තිබෙන ආකාරය ඕනෑම අයකුට දකින්න පුළුවන්. මේ කසළ අංගණයේ පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල ලෙස පිරී තිබෙනවා. දුර්ගන්ධය පැතිර යන කසළ නිසා රෝගාබාධවලට ද ලක්වීම නිරන්තරයෙන් සිදු වෙනවා.”

කසළ අංගණය ආසන්නයේ ජීවත් වන මොහොමඩ් නිහාර් මහතා මෙසේ කීය.

“බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් පවා අපගේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ එතරම් උනන්දුවක් දක්වා නෑ. මේ ප්‍රදේශය අවට නිරන්තර හමන දුගඳ ඩෙංගු රෝගීන් වර්ධනයට එක් හේතුවක්. ගෙදරක පොල් කට්ටක මදුරු කීටයන් හිටියොත් දඩ ගහන සෞඛ්‍ය බලධාරීන්ට මේ ජනතාව විඳින දුක පෙනෙන්නේ නෑ. නගරයේ ගව ඝාතනාගාරවලින් ඉවත් කරන ගවයන්ගේ අපද්‍රව්‍ය කොටස් පවා විවෘතව බැහැර කර තිබෙනවා. කසළ බැහැර කිරීමට පැමිණෙන මාර්ගය පවා ජලයෙන් යටවී තිබෙනවා.”

මේ පිළිබඳව බේරුවල නගර සභාවේ ලේකම් උත්පලා ගුණවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙලෙස කියා සිටියාය.

“බේරුවල නගර සභාව සතු මේ භූමියට නගර සභා බලප්‍රදේශයේ දිරන කසළ පමණක් බැහැර කරනවා. සිංහල අවුරුද්දට පෙර මම මේ ස්ථානය නිරීක්ෂණය කළා. අවට ඉස්ලාම් දේවස්ථාන සමඟත් සාකච්ඡා කර මේ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙයට පෙරත් පස් දමා කසළ අංගණය වැසුවා. දුගඳ නැති කිරීමට වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මොකද කසළ බැහැර කරන්න බේරුවල නගර සභාවට වෙන තැනක් නෑ ඒ කසළ බැහැර කර යුත්තේ මෙතැනටම තමයි.”

මේ පිළිබඳ රටේ ඉහළ පෙළේ බලධාරීන්ගේ අවධානය යොමුවී තමන්ට ජීවත්වීමේ අයිතිය ලැබුණු ඇතැයි කසළ අංගණය අවට සිටින පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT