Tuesday, May 14, 2024
Home » පෙම්වතිය හමුවන්න ඇයගේ නිවෙසට ගිය තරුණයා අතුරුදන්
කබලෑව කැලඹේ

පෙම්වතිය හමුවන්න ඇයගේ නිවෙසට ගිය තරුණයා අතුරුදන්

-පෙම්වතියගේ පවුලේ අය තරුණයා ඝාතනය කළාදැයි පොලිසියට සැක

by sachintha
April 29, 2024 1:33 am 0 comment

මේ වැඩේ ඉවර කරන්න කැලණියෙ කළුමල්ලි කියලා කෙ‍ෙනකුට කොන්ත්‍රාත්තුවක් දීලා කියලත් දැන ගත්තා

මගෙ දුව වෙනුවෙන් තාත්තා කෙනෙකුගේ යුතුකම ඉටු කළා 

සුසිත්ගෙ සමීප මිතුරකු වන සම්පත්ට පෙම්වතියගේ පියා පවසලා

පෙම්වතියගේ පියා තරුණයා අතුරුදන් වීමට දින දෙකකට පෙර කුලියට ගත් මෝටර් රථය පොලිස් භාරයට

සිය පෙම්වතිය හමුවීමට ඇයගේ නිවෙසට පසුගිය 22 වැනිදා ගිය තරුණයකු එම මොහොතේ සිට අතුරුදන්ව ඇත. ඔහු කුලියාපිටිය, කබලෑවේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ යන අයයි.

පෙම්වතියගේ පවුලේ උදවිය විසින් තරුණයාව ඝාතනය කර සිරුර සඟවා ඇතැයි පොලිසිය සැක කරයි.

මේ තරුණයාගේ අතුරුදන්වීමත් සමඟ 18 හැවිරිදි පෙම්වතියත් ඇයගේ මවුපියන් සහ අවුරුදු 12 සහ 08 වයස්වල පසුවන සහෝදරියත් සහෝදරයාත් නිවෙස වසා දමා අතුරුදන්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. එම නිවෙස ආසන්නයේ පෙම්වතියගේ පියාගේ මහ ගෙදර පිහිටා ඇත. එහි ජීවත්වන්නේ පෙම්වතියගේ පියාගේ නැඟණිය සහ ඇයගේ සැමියා ඇතුළු පවුලේ උදවියයි. ඒ අය ද මේ සිදුවීමත් සමඟ නිවෙස වසා දමා අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

යම් අපරාධයක් තරුණයාට සිදුව ඇති බව පෙනී යන නිසා පෙම්වතියගේ නිවෙස මෙන්ම ඇයගේ පියාගේ මහ ගෙදර ද පරීක්ෂාවට ලක් කළත් අතුරුදන් තරුණයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බව පොලිසිය කියයි. සැක කරන ආකාරයට තරුණයා ඝාතනය කර තිබේ නම් ගේදොර වසා දමා ඔවුන් පලා ගොස් ඇත්තේ මළ සිරුර ද රැගෙන බව විශ්වාස කරන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ තරුණයා ආහාර පාන අලෙවිසලක් පවත්වාගෙන යන්නෙක් වන අතර කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිවෙසට පසුගිය 22 වැනිදා ඔහු ගොස් ඇත්තේ එම අලෙවිසලේ සේවකයකු වන අකිල සුපුන් සමඟිනි. මේ අපරාධය සිදු කර ඇත්තේ පෙම්වතිය මාර්ගයෙන් පවුලේ උදවිය ඔහු නිවෙසට ගෙන්වාගෙන බව ද පොලිසිය සැක කරයි.

අකිල සුපුන් ඒ ගැන මෙසේ සඳහන් කරයි.

“මම කඩේ බඩුගන්න සුසිත් අයියගෙන් සල්ලිත් ඉල්ලාගෙන යන්න යද්දී ගමනක් යමු කිව්වා. පස්සෙ මම සුසිත් අයියත් එක්කම වස්සාවුල්ලට ගියා. එතැනදී මාව ගෙයක් ළඟ නතර කර සුසිත් අයියා ගියා, ගෙදරට විනාඩි 10න් එනවා කියලා. මම ටික වෙලාවක් බලලා නැති නිසා ඒ ගෙදරට ගියා. ඒ ගෙදර කාන්තාවක් කිව්වා, ආව කෙනා පොඩි වෙලාවක් ඉඳලා ගියා. දැන් මෙහෙ නෑ කියලා. මම සුසිත් අයියගෙ ගෙදර ගිහින් බලන් හිටියා. ආවෙ නැති නිසා ආයෙ හවසත් ගියේ සුසිත් අයියගෙ ෆෝන් එක වැඩ කළේ නැති නිසයි. අපි කිහිප දෙනෙක් යනකොට ඒ ගෙදර කිසි කෙනෙක් හිටියෙ නෑ. වටේ ගෙවල්වලින් අහද්දී ළඟ ගෙදරක තිබුණ වාහන දෙකක් අධික වේගයෙන් පිටව ගිය බව විතරයි දැනගත්තේ.”

අතුරුදන්ව සිටින සිය සොහොයුරා පිළිබඳව බාල සොයුරු සජිත් ප‍්‍රියවංශ මහතා ද පැවැසුවේ මෙවැන්නකි.

“අයියා ගෙදර ඉඳන් 22 වැනිදා උදේ 10.00ට වගේ කඩේ මල්ලි එක්ක කොහෙද ගියා. ඒත් ආපහු ගෙදරට ආවේ කඩේ මල්ලි විතරයි. එයා ඇවිත් අයියා ආවද කියලා ඇහුවාම මං කිව්වා, ඔයා එක්කනෙ ගියේ කියලා. පස්සේ අපි අයියා ගියා කියන ගෙදර හොයාගෙන ගියා. ඒ යද්දී ඒ ගෙදර කවුරුත් නෑ. අපි වටපිට අයගෙන් ඇහුවාම කිව්වේ වාහන දෙකක් කබල් පාරෙ හයියෙන් ගියා කියලයි. ඒ හරියෙ ආරක්‍ෂිත කැමරාවලත් ඒ වාහන දෙක යනවා තිබුණා. කිසිම කතාවක් නෑ. අපට ඒ ගෙදර අයත් එදා ඉඳන් අතුරුදන් නිසා වෙන සැකයක් තිබුණේ නෑ. අපි පොලිසියෙන් ඉල්ලන්නේ කොහොම හරි මගෙ අයියා හොයලා දෙන්න කියලයි.”

සුසිත්ගේ සමීප මිතුරකු වූ සම්පත් විජේකුමාර නොහොත් බන්දු මේ ගැන මෙලෙස පැවැසීය.

“මම හොඳින් හඳුනන මල්ලි කෙනෙක් මේ අතුරුදන් වෙලා ඉන්නෙ. ඒ කියන වස්සාවුල්ලෙ ගෙදර කෙනාව මම දන්නවා. මමත් සුසිත් මල්ලි හොයන්න ගියා කියන එක දැනගෙන මට ඒ වස්සාවුල්ලෙ ගෙදර කෙනා කතා කරලා කිව්වා උදව්වක් ඕනෙ කියලා. මම කිව්වා ඉස්සරවෙලා මගෙ එකා දෙන්න කියලා. එතැනදි කිව්වා, මගෙ දුව වෙනුවෙන් තාත්තා කෙනෙක්ගෙ යුතුකම ඉටු කළා කියලා. ඒ වගේම අයෙ කිව්වා, දැන් මරලා ඉවරයි කියලා. මම බොඩි එක ඉල්ලුවා. පස්සේ ඒ සැකකාර කෙනාගෙ මිතුරකුගෙ මාර්ගයෙන් දැන ගත්තා මේ වැඩේ ඉවර කරන්න කැලණියෙ කළුමල්ලි කියලා කෙනෙක්ට කොන්ත්‍රාත්තුවක් දීලා කියන කතාවක්. පොලිසිය මේ වන විට හොයනවා. අපිත් අපේ උපරිම සහාය පොලිසියට දීලා තියෙනවා.”

කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ මහා සංඝරත්නය, අසල්වාසීන් සහ තරුණයන් එම අතුරුදන් සුසිත්ගේ නිවෙස තනි නොකරමින් සිටින බව දැක ගත හැකි අතර, සුසිත්ගේ ජීවිතයට හානියක් සිදු කර නැති බවට ඔවුහු බහුතරයක් විශ්වාස කරති.

එමෙන්ම ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කරමින් කළ නිරීක්‍ෂණ අනුව තරුණයා අතුරුදන් වූ දින වේගයෙන් පිටව ගොස් තිබූ වාහන දෙකෙන් එකක් සිය භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

කුලියාපිටිය පොලිසිය මේ වන විට සිය උපරිම ශක්තිය යොදා විමර්ශන පවත්වන්නේ තරුණයා සොයාය. එදා තරුණයා අතුරුදන් වූ දින නිවෙසේ සිට වේගයෙන් ගියා යැයි කියන මෝටර් රථයේ අංකය ඔස්සේ කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම මෝටර් රථය කුලියාපිටියේ වාහන කුලියට දෙන ස්ථානයකින් ඊට දින දෙකකට පෙර ගත් එකක් බවයි. පෙම්වතියගේ පියා විසින් එම මෝටර් රථය ගෙන ඇති අතර එය තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු දින නැවත දී කුඩා වෑන් රථයක් කුලියට ගෙන ඇති බව ද අනාවරණයවී තිබේ. මෝටර් රථය මේ වන විට ඇත්තේ පොලිස් භාරයේය.

සිය දියණියට සාධාරණය ඉටු කළා යැයි පෙම්වතියගේ පියා පවසා ඇති බැවින් තරුණයාගේ ජීවිතයට හානියක් සිදුව ඇති බව පොලිසිය ද තදින්ම විශ්වාස කරයි. එබැවින් තරුණයාට සැබෑවටම සිදු වූයේ කුමක්දැයි පැහැදිලිවම හෙළි කර ගැනීමට පලාගිය පිරිස අත්අඩංගුවට ගත යුතුය. ඒ සඳහා දුරකතන ජාල විශ්ලේෂණ ද සිදු කරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

කුලියාපිටිය – මෙවිරු ධනාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT