Wednesday, May 15, 2024
Home » ‘නැකතට පැළයක්’ යටතේ රට පුරා පැළ මිලියනයක් -හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි

‘නැකතට පැළයක්’ යටතේ රට පුරා පැළ මිලියනයක් -හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි

by sachintha
April 29, 2024 1:04 am 0 comment

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා හන්තාන රාජමහා විහාරාධිපති, පාතහේවාහැට ප්‍රධාන සංඝනායක ඇතුල්ගම ධම්මදස්සී නාහිමියන්ට අඹ පැළයක් පිළිගැන්වූ අයුරු. එකෝලොජ් අධිපති හර්ෂ සමරනායක මහතා ඇතුළු පිරිසක්ද ඡායාරූපයේ වෙති.

‘නැකතට පැළයක්’ වැඩසටහන යටතේ මෙවසරේදී රට පුරා පැළ මිලියනයක් සිටුවීමට අපේක්ෂා කරන බවත්, මේ වන විට ආර්ථික වටිනාකමක් මෙන්ම පස සංරක්ෂණයටද බලපාන පැළ ලක්ෂ දෙකක් සිටුවා අවසන් බවත් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා පවසයි. මේ වන විට නැකතට පැළයක් වැඩසටහන ආරම්භ කර ගෙවුණු වසර 5කට ආසන්න කාලයේදී පැළ මිලියන 4ක් අලුතින් සිටුවීමට අවස්ථාව ලැබී තිබෙන බවද ඒ මහතා කීය. නැකතට පැළයක් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අනුග්‍රහට යටතේ හන්තාන එකෝලොජ් ආයතනය මඟින් හන්තාන ප්‍රදේශවාසීන්ට ආර්ථික වටිනාකමින් යුත් පැළ බෙදාදීම නිමිත්තෙන් පසුගියදා පැවති උත්සවයකදී සභාපතිවරයා මේ බව පැවසීය.

හන්තාන එකෝලොජ් පරිශ්‍රයේදී පැවැති උත්සවය හන්තාන රාජමහා විහාරාධිපති, පාතහේවාහැට ප්‍රධාන සංඝනායක ඇතුල්ගම ධම්මදස්සී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පස සෝදා යෑම වළක්වාගැනීමත් ජල මූලාශ්‍රය ආරක්ෂා කිරීමත් පාදක කරගනිමින් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 1972 සිට විවිධ වැඩටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කළේය.

හන්තාන ආශ්‍රිත සෞම්‍ය පරිසර කලාපයේ අධික ශීත සහිත දේශගුණික තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙන බවත් ප්‍රදේශයේ වන වගාවට සිදුවන හානිය මෙයට ප්‍රධාන හේතුවක් බවත් හන්තාන රජමහා විහාරාධිපති, පාතහේවාහැට ප්‍රධාන සංඝනායක ඇතුල්ගම ධම්මදස්සී නාමිමියෝ මෙහිදී පැවසූහ. දැව ජාවරම්කරුවන් ගේ ගොදුරක් බවට හන්තාන පත්වෙමින් තිබෙන බවත් එවැනි අවස්ථාවක මේ ආකාරයෙන් පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අගය කළ යුතු බවත් උන් වහන්සේ කීහ.

හන්තාන එකෝලොජ් අධිපති හර්ෂ සමරනායක මහතා අදහස් දක්වමින් හන්තාන ආශ්‍රිත පාරිසරික කලාපයේ වන වගාවට යම් යම් පුද්ගලයන් ගිනි තබන බවත්, සතුන් දඩයම් කිරීමට මෙන්ම ඇතැම් පිරිස් විනෝදයට මෙය සිදු කරන බවත් පැවසුවේය. මෙමඟින් වන පාරිසරික විනාශය පිළිබඳ හැඟීමක් බොහෝ දෙනකුට නැති බවත්, පැළයක් සිටුවා එය ලොකු මහත් කිරීමට පසුබිම සැකසීම ඔස්සේ ප්‍රදේශයේ වැඩිමහල් අයට මෙන්ම කුඩා දරුවන්ටද පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ යම් හැඟීමක් සිත් තුළට කාවැද්දීම මෙහි අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

හන්තාන රාජමහා විහාරවාසී හන්තානේ චන්දිම හිමි සහ හන්තාන එකෝලොජ් කළමනාකාර නන්දන පියසේන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT