Home » නවීනතම තාක්ෂණයෙන් කළුතර රෝහලේදී වකුගඩුවක ගල් ඉවත් කරයි

නවීනතම තාක්ෂණයෙන් කළුතර රෝහලේදී වකුගඩුවක ගල් ඉවත් කරයි

by sachintha
April 29, 2024 1:08 am 0 comment

කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ලොව නවීනතම තාක්ෂණය යොදාගනිමින් වකුගඩුවල ගල් ඉවත් කරන සැත්කමක් සාර්ථකව සිදුකර තිබේ.

මෙම සැත්කමේ ඇති සුවිශේෂීත්වය වන්නේ සාමාන්‍ය සැත්කමකදී රෝගියාට යොදන ආකාරයේ විශාල කැපුමකින් තොරව රෝගියාගේ ශරීරයේ සුලු විවරයක් සිදුකර මෙම සැත්කම සිදුකර තිබීමය.

කළුතර ශික්ෂණ රෝහලේ වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය ඒකකයේ 150වැනි පී.සී.එන්.එල් ශල්‍ය කර්මය මෙලෙස පසුගියදා සිදුකර තිබුණි.

කළුතර පදිංචි 38 හැවිරිදි පුද්ගලයකුට මෙම සැත්කම සිදුකර ඇති අතර එහි අභියෝගය වී ඇත්තේ ඔහුගේ වකුගඩු යුගල පහළින් සම්බන්ධ වී තිබීමය.

මෙවැනි සැත්කමකදී ශරීරයේ විශාල කැපුමක් යොදා ගල් ඉවත් කිරීම සිදුකරන අතර මෙම සැත්කමේදී එවැනි විශාල කැපුමක් සිදු නොකර නවීන ලේසර් තාක්ෂණය යොදා ගනිමින් ඉතා‍ සුළු කැපුමකින් මෙම සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය කලණපල්ලියගුරු මහතා සඳහන් කළේය.

මෙම තාක්ෂණය ලංකාවේ පළමුවරට ස්ථාපිත කළ අධිබලැති ලේසර් යන්ත්‍රයක් යොදාගෙන සිදුකළ බවත් එම යන්ත්‍රයේ නම්‍ය ශීලි කුඩා උපකරණයක් රෝගියාගේ ශරීරයේ සුළු විවරයක් සිදුකර වකුගඩුවලට ඇතුළු කර එහි ඇති ඉතා සංකීර්ණ නාලවලට ඇති ගල්, කුඩු කර ඉවත් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ලේසර් මාර්ගයෙන් කුඩු කරන ගල් කොටස් ඉවත් කිරීම එම යන්ත්‍රයේ ඇති නම්‍ය ශීලි උපකරණය මගින් සිදුකරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. ශරීරයේ විශාල විවරයක් සිදුකර කරනු ලබන වකුගඩු සැත්කමකින් රෝගියාට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අපහසු වෙන අතර නමුත් මෙම තාක්ෂණය භාවිත කිරීමෙන් කරන සැත්කමින් කෙටි දිනකට පසු එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කළ හැකිවීම විශේෂත්වයක් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT