Home » එජාප නායකයන් අභියෝගවලට බයේ පැන යන්නේ නෑ – මන්ත්‍රී වජිර අබේවර්ධන

එජාප නායකයන් අභියෝගවලට බයේ පැන යන්නේ නෑ – මන්ත්‍රී වජිර අබේවර්ධන

by sachintha
April 29, 2024 1:49 am 0 comment

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අභියෝග භාර ගන්න බයේ කිසි දිනක පැන නොයන බවත් අරාජික වී සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබුණු රට භාර ගන්න කිසිදු කෙනකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනඟන අභියෝගය භාර ගත් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ මැයි පළමු වැනිදාට එක්සත් ජාතික පක්ෂය පැවැත්වීමට සූදානම් කර තිබෙන මැයි දින රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (27) පැවැති දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

මීට අවුරුදු තුනක පමණ කාලයක් පෝලිම්වල සිටි රටේ වැඩ කරන කම්කරු ජනතාව ඇතුළු සමස්ත මහජනතාව මේ මොහොත වන විට තමන්ගේ වැඩබිම් කරා යමින් තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථකව සිදු කරනවා. අප මේ ආකාරයේ මැයි රැලියක් පවත්වන්නේ වසර දෙකකට පමණ පසුවයි. පසුගිය අවුරුදුවලදී කිසිදු දේශපාලන පක්ෂයකට මැයි දින රැලියක් හෝ වෙනත් රැලියක් පවත්වන්න සුදුසු වාතාවරණයක් රට තුළ තිබුණේ නැහැ. ඒ ගැන මහජනතාවට නැවත නැවත මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. මීට අවුරුදු දෙකකට පමණ උඩදී ජනතාව එක් වුණේ, රැස්වුණේ පෝලිම්වලයි. ගෙදර ඉන්න පිරිස වෙන් වෙන් වශයෙන් කාලය ගත කළේ පෝලිම්වලයි. එක්කෙනෙක් පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල, තවත් කෙනෙක් ගෑස් පෝලිමේ, ගෙදර අම්මා තමන්ගේ ළමයට කිරිපිටි ටිකක් අරන් දෙන්න කිරිපිටි පෝලිමේ හිටියෙ. ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තිබෙන බව ඕනෑම කෙනකුට පේනවා. ඉතින් මේ තත්ත්වයට රට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකත්වයයි. රට අරාජික වෙලා සම්පූර්ණයෙන්ම කඩාවැටිලා තිබුණු වෙලාවේ රට භාරගන්න කිසිදු කෙනකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ සියලුදෙනාම තමන්ගේ පක්ෂයේ බෝඩ් ලෑලි ගලවන් හැංගිලයි හිටියෙ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනඟන අභියෝගය භාර ගත්තා. ඔහුට විශ්වාසයක් තිබුණා මේ රට ගොඩගන්න පුළුවන් කියලා. ඔහු අගමැති ධුරයට පත් වුණුදා පටන් රටේ ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අභියෝග භාර ගන්න බයේ කිසි දිනක පැනලා ගියේ නැහැ.

ඒ කැපවීම්වල ප්‍රතිඵල අද භුක්ති විඳින්නේ මේ රටේ සමස්ත මහජනතාවයි. අද කිසිකෙනකු පෝලිම්වල දුක් විඳින්නේ නැහැ. කිසි කෙනකු පෝලිම්වල මිය යන්නේ නැහැ. ඉතින් මෙවැනි පෙරළියක් කෙටි කාලයක් තුළ සිදු කළ රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයාට අපේ රටේ සියලු මහජනතාව කෘතගුණ දැක්විය යුතුයි. අද ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන් මේ රටේ පාලන බලය ඉල්ලන්නේ රට ගොඩනඟන දැක්මක්වත් නැතිවයි. ඒ නිසයි මම සෑම වෙලාවකම මහජනයාට මතක් කරන්නේ ඔබ අවබෝධයෙන් ක්‍රියා නොකළොත් රට තිබුණු තැනටත් වඩා නරක තැනකට යළි ගමන් කරයි කියලා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්ද කියලත් හිතා ගන්න අමාරුයි. ඒ කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය මෙවර පවත්වන්න යන්නේ 1994න් පසුව, ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසුව පවත්වන ඓතිහාසික මැයි දින රැලියයි. මේ රැලිය සඳහා සහභාගි වෙන සෑම කෙනකුටම වේදිකාව අසලට ඒමට නොහැකි වෙයි. නමුත් මේ සියලුදෙනා කොළඹට පැමිණෙන්නේ, ජාතියේ ආරක්ෂාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කරගත යුතුයි කියන පණිවිඩය රටට දෙන්නයි.

ඒ සඳහා සියලු සංවිධාන කටයුතු මේ වන විට සංවිධානය වී අවසානයි. ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් ඒ සංවිධාන කටයුතු ඉතා හොඳට සිදුවීගෙන යනවා. මම පසුගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලුවා. ජනතාව උනන්දුවෙන් මේ ක්‍රියාදාමය සඳහා එක්වී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රටේ සියලුදෙනාවම ආරක්ෂා කරන බව ඔවුන් පිළිගන්නවා. රටේ සිටින සමස්ත මහජනතාවත් වැඩ කරන කම්කරු ජනතාවත් පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ මහ පාරේ හිටියෙ. දැන් ඔවුන්ව වැඩබිම්වලට යවලා රටේ ආර්ථිකය නැවත පණ ගන්වන්න පුළුවන් වාතාවරණය හදලා තිබෙන්නෙ. ඉතින් අප මෙවර මැයි දින රැලියෙන් ඒ පණිවිඩය ලෝකයට දෙන්න බලාපොරොත්තු වෙනවා. එසේ නම් ජාති, ආගම් කුල අනුව බෙදෙන්නේ නැතිව, ශ්‍රී ලාංකිකයන් හැටියට එකමුතුව එක ගමනක් යා යුතුව තිබෙනවා. ඔබ එසේ නොබෙදී ක්‍රියා කරනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට නිවැරදි මාර්ගයේ ගෙනගොස් ආසියාවේත් ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවි.

ඒ වගේම අද බොහෝ දෙනා ඩොලරයේ මිල පහල යෑම ගැනත් විවිධ කතා කියනවා. මම එදා කියපු කාරණයක් මට මේ අවස්ථාවේ මතක් වෙනවා. ඒ තමයි එදා මම කිව්වා රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකත්වයට මේ රට භාර දුන්නොත් ඩොලරය රුපියල් 250ට පමණ ගෙනෙයි කියලා. එදා බොහෝ දෙනා මට හිනා වුණා. නමුත් අද ඒ දේ සැබෑවක් වී තිබෙනවා. එසේ නම් අප සියලුදෙනාම එකතු වී රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා මේ ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දී රට ඉදිරියට ගෙන යෑමට එකතු වෙමු. ඒ පණිවිඩය මේ මැයි දින රැලිය හරහා ලෝකයට දෙමු යැයි කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

 

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT