Tuesday, May 14, 2024
Home » බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනයට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනයට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක

by sachintha
April 29, 2024 1:48 am 0 comment

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදා හැරීම සහ අලෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

මේ වන විට අඛණ්ඩ බලශක්ති සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ඉන්ධන පෝලිම් යුගය අවසන් කර තිබෙනවා. ගුණාත්මකභාවයෙන් ඉහළ ඉන්ධන ලබා දීමට අප අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන සමත්ව සිටිනවා.

ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මකභාවය, බෙදා හැරීම සහ අලෙවිය සම්බන්ධයෙන් වූ ස්වාධීන නියාමන ආයතනයක අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. වැඩිදුරටත් පැහැදිලි කළහොත් රටට ආනයනය කරන භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල්, ගුවන්යානා ඉන්ධන, LPG, LNG සහ ලිහිසි තෙල් ඇතුළු සියල්ලගේම ගුණාත්මකතාවය, බෙදා හැරීමේ තරගකාරීත්වය මෙන්ම මිල ගණන් සම්බන්ධයෙන් නියාමනය කිරීම මේ ස්වාධීන ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණයි. එමඟින් පාරිභෝගිකයන්ට විධිමත් සහ සාධාරණ මිලක් යටතේ සැපයුම් ලබාදීමට හැකි වන බව ද සඳහන් කළ යුතුයි. ඒ සඳහා ප්‍රධාන රාමුව සකස් කිරීමට අවශ්‍ය තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඒ තුළ ඉන්ධන මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ හඳුනාගෙන, ඉදිරි මාස 06ක් සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ හෙට (30) සහ ලබන මස 13 වැනිදා තවත් මාස දෙකකට අවශ්‍ය ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ඒ අනුව 2024 වසරට අවශ්‍ය ඉන්ධනවල වාරික සම්පූර්ණ කිරීම අවසන් වනවා. එමඟින් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද අපගේ වාරිකවල වෙනසක් නොවන බව ද සඳහන් කළ යුතුයි. ලෝක වෙ‍ළෙඳපොළ සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඔවුන් විසින් සිදු කල අධ්‍යයනයන් මඟින් මේ වන විට ඩොලර් මිලියන ගණනක් අප රටට ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙනවා.

පසුගිය කාලයක් තිස්සේ ඉන්ධන ආනයනය කිරීමේදී නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමක් සිදු කළා. දිනපතා මාධ්‍යවල ප්‍රමාද ගාස්තු ගෙවීම් සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වුණා. නමුත් පසුගිය වසර එකහමාරක කාලයක සිට ඒ ආකාරයට නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමක් සිදු කර නැහැ. ඒ අප නියමිත වේලාවට ගෙවීම් කටයුතු සිදු කළ නිසයි.

අප විසින් මේ වන විට මාසයකට අවශ්‍ය අතිරික්ත ඉන්ධන තොග පවත්වාගෙන යනවා. ඒ වගේම මාසයකට අවශ්‍ය කරන ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද පවත්වාගෙන යනවා. ඒ අනුව මාස දෙකක් සඳහා අවශ්‍ය ඉන්ධන සහ ඩොලර් අප සතුව තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT