තම බාලවයස්කාර සහෝදරිය සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නවතා දමන ලෙසට පෙම්වතියගේ සහෝදරයා සමඟ ඇතිවූ කතාබහේ දී කණේ පහරක් ගැසූවාට උරණව, කණ්ඩායමක් සමඟ පැමිණ එම තරුණයාට ඇගේ බිරියට සහ සහෝදරයාට හෙල්මට්වලින් සහ පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඇතුළු දෙදෙනකු ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් 15 දෙනා පෙරේදා (28) දිනයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර එම සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන පටුමග හිඹුටාන අංගොඩ පදිංචි දොන් අසංක තුෂාර (30) සහ පුබුදුගම උඩුමුල්ල මුල්ලේරියාව පදිංචි ලියනගේ පසිදු මදුෂාන් (17) නමැත්තන්ය.
මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ තාරක පෙරේරා නමැති 28 හැවිරිදි තරුණයා සහ ඇගේ බිරියත් සහෝදරයාත් මේ වන විට මුල්ලේරියාව දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තාරක නමැත්තාගේ මොළයට ලේ ගැලීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මුල්ලේරියාව ප්‍රදේශයේ පාසලක ඉකුත් 26 වැනිදා පැවැති ක්‍රීඩා උත්සවයකට සහභාගී වූ එම පාසලේ සිසුවකු වන සැකකාර තරුණයාට එම ස්ථානයට පැමිණි පහරකෑමට ලක්වූ තාරක නමැති තරුණයා ‘නංගි එක්ක තියෙන සම්බන්දේ නවත්තපන්.‘ යැයි පවසමින් කණේ පහරක් ගසා ඇති බවත්, පසුව එම පහරට උරණ වූ සැකකාර පාසල් ශිෂ්‍යයා පාසලෙන් එළියට පැමිණ ඔහුගේ මිත්‍රයන් පිරිසකට දුරකතනයෙන් අමතා පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව දාහත් දෙනකුගෙන් යුත් පිරිසක් යතුරුපැදිවලින් පැමිණ අදාළ පාසල ඉදිරිපිටදී මෙම පහරදීම සිදුකර ඇත්තේ හෙල්මට්වලින් සහ පොලුවලින් බවත් පහරකෑමට ලක්වූ තිදෙනා වැටි වැටී නැගිට සිටි අවස්ථාවේදී ද ඔවුන්ට පහර දී ඇති බවත් මුල්ලේරියාව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල් 11848 ඒ ජී එස් අලුත්ගෙදර නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් නිතීඥ නිමේෂ් මානප්පෙරුම සහ නිතීඥ ෆසීර් මොහොමඩ් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයන් එම ස්ථානයේ රැඳී සිටීම පමණක් සිදුකළ බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසය.
මෙහි දී මුල්ලේරියාව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ එම සැකකරුවන් මෙම පහරදීමට ආධාර අනුබල දුන් බවට කරුණු ඉදිරිපත් වන බැවින් ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සඳහා ඉදිරිපත් කර තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරමින් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර අනෙක් සැකකරුවන්ට ඇප ලබා දුන්නේය.