Home » පුතා තාත්තාගේ රහසඟ කපා කැලේට විසි කරලා
අම්මාට පහර දෙනවැයි උරණ වී 

පුතා තාත්තාගේ රහසඟ කපා කැලේට විසි කරලා

by mahesh
May 3, 2024 1:00 am 0 comment

බාල පුතා විසින් පිහියකින් වෙන් වෙන්නම පියාගේ පුරුෂ ලිංගය කපා ඉවත් කර දමා ඇතැයි කියන පුද්ගලයෙක් අසාධ්‍යව ඉකුත් 30 වැනිදා රාත්‍රි කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 05 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ උඩගම, යටගම, රඹුක්කන ලිපිනයේ පදිංචිව සිටින 58 හැවිරිදි තිදරු පියෙකි.

කෑගල්ල මහ රෝහලේ අංක 05 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන තිදරු පියාට පිරිමි දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් වයස අවුරුදු 28ත් 35 අතර තරුණ පුද්ගලයින් බව ද පොලිසිය පැවසීය. ඔවුන් රැකියා නොකරන බවත් නිවෙසට වී සිටින බවත් කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය. තුවාලකරු කාලයක සිට බිරිය සමඟ අඬදබර වෙන බවත් එහි දී අතට අහුවෙන ඕනෑම එකකින් බිරියට දමා ගසා පහර දෙන බවත් පොලිසිය පැවසීය.

ඉකුත් 30 වැනිදා රාත්‍රී පළමු හා තෙවැනි පිරිමි දරුවන් සමඟ මවුපියන් නිවසේ සිට ඇති අතර, දෙවැනි පිරිමි දරුවා නිවසින් බැහැරව සිට ඇති බවත් පොලිසිය පැවසීය. රාත්‍රී 7.30ට පමණ තුවාලකරු මත්පැන් පානය කර නිවසට පැමිණ සුපුරුදු පරිදි බිරිය සමඟ බහින් බස් වීමක් සිදුව ඇති අතර, එහි දී තුවාලකරු බිරියට පහර දීම් කිහිපයක් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ දී බාල පුතු මෙලෙස පියාගේ රහසඟ කපා ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව තුවාලකරු නිවසින් එළියට පැමිණ රාත්‍රී කාලයේ කැලේ සැඟව සිට පෙරේදා (01) අසාධ්‍යව වූ අවස්ථාවේ දී රඹුක්කන රෝහලට පැමිණ ඇතුළත් වී ඇති බවත් පොලිසිය පැවසීය. පසුව රඹුක්කන රෝහලින් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර, පෙරේදා (01) කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

දැනට තුවාලකරු අසාධ්‍යව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර පිරිමි දරුවා රඹුක්කන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවත් ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.

කෑගල්ල මහ රෝහලේ පොලිසියේ පොලිස් සැරයන් සමරනායක (30517) මූලික විමර්ශන කටයුතු සිදු කර තිබුණි.

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්, සබරගමුව සමූහ - ගාමිණී රම්‍යපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT